සම්මානලාභී බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනියක සහ Mines Advisory Group (MAG) සංවිධානයේ තානාපතිවරියක වන රොසමුන්ඩ් පයික්, දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ බිම් බෝම්බ සහ යුද පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනේ අවසන් අදියරට ශ්‍රී ලංකාව ළඟා වෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.
මේ වනවිට බිම් බෝම්බ සහ පුපුරා නොගිය යුද පුපුරණ ද්‍රව්‍යවලින් දූෂිතව ඉතිරිව ඇත්තේ වර්ග කිලෝමීටර් 20.8ක් පමණක් වන අතර, එය මුලින් හඳුනාගත් දූෂිත ප්‍රදේශවලින් 10%කටත් අඩු ප්රමාණයකි. ඉතිරි ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල පිහිටා තිබේ.
ශ්‍රී ලංකාව මේ වනවිට බිම් බෝම්බ මිලියනයකට වැඩි ප්‍රමාණයක් සහ තවත් යුද පුපුරණ ද්‍රව්‍ය මිලියනයකට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, බිම් බෝම්බවලින් තොර බවට ප්‍රකාශයට පත් කළ ප්‍රදේශවල පුද්ගලයන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පදිංචි වී තිබේ.
බිම් බෝම්බ හේතුවෙන් සිදුවූ අනතුරුද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, 2002 වසරේදී 252ක් ලෙස වාර්තා වූ එම සංඛ්‍යාව 2024 වනවිට දෙකක් දක්වා අඩු වී තිබේ. බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සහ පාසල් හා ප්‍රජාවන් තුළ ක්‍රියාත්මක කළ බිම් බෝම්බ අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මීට බලපා ඇත.
බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් හරහා නිදහස් කළ ඉඩම්වලින් 90%කට වැඩි ප්‍රමාණයක් ඉහළ ප්‍රමුඛතාවක් සහිත ප්‍රදේශ ලෙස වර්ගීකරණය කර තිබිණි.
පයික් මහත්මිය මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම් බෝම්බ සහිත ප්‍රදේශවල සංචාරය කරමින් ශ්‍රී ලාංකික බිම් බෝම්බ ඉවත් කරන්නන් සහ බිම් බෝම්බ හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් හමුවීමට නියමිතය. ඇය පාසලක පැවැත්වෙන බිම් බෝම්බ අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකටද සහභාගී වේ.
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්ෂේත්රයේ පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් සේවය කර ඇති අතර, ඔවුන් අතර ගැටුම්වලින් දිවි ගලවාගත් පුද්ගලයන් සහ හිටපු සටන්කරුවන්ද සිටිති. ඔවුන්ගේ සහභාගීත්වය ගැටුම්වලින් බලපෑමට ලක්වූ ප්‍රජාවන් තුළ සංහිඳියාව, නැවත සමාජගත කිරීම සහ ආර්ථික ප්‍රකෘතිය සඳහාද දායක වී තිබේ.
ශ්‍රී ලංකාව බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසන් අදියරට ළඟාවීම ජාත්‍යන්තර වශයෙන්ද වැදගත් සන්ධිස්ථානයක් වන අතර, මහා පරිමාණයෙන් බිම් බෝම්බ තැන්පත් කර තිබූ ගැටුම්වලින් බලපෑමට ලක්වූ රටක් ලෙස සම්පූර්ණයෙන්ම බිම් බෝම්බ ඉවත් කළ පළමු රටවල් අතරට එක්වීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සන්ධිස්ථානය උදා වන්නේ Anti-Personnel Mine Ban Convention හෙවත් පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතියද වර්ධනය වන අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවකදීය. රටවල් කිහිපයක් එම සම්මුතියෙන් ඉවත් වීමට පියවර ගනිමින් සිටින අතර තවත් රටවල් සිය කැපවීම් සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳ සංඥා කර තිබේ.
බිම් බෝම්බ ඉවත් කිරීම සම්පූර්ණ කිරීම හරහා ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනයටද නව අවස්ථා උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉතිරි ඉඩම් යටිතල පහසුකම්, නිවාස, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ පෞද්ගලික ආයෝජන සඳහා යොදාගැනීමට එමගින් හැකි වනු ඇත.
සංචාරය අතරතුර පයික් මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා සහ ජාතික බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ නිලධාරීන් හමුවීමටද නියමිතය.
“ශ්‍රී ලංකාවේ MAG සංවිධානයේ කටයුතු දැකීමෙන්, මෙවැනි ඛේදවාචකවල අවසානය අපට පෙනෙන මානයක ඇති බවට මට විශ්වාසයක් ඇති වෙනවා,” යනුවෙන් පයික් මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය “විශිෂ්ට ජයග්‍රහණයක්” ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් විස්තර කර ඇති අතර, ශ්‍රී ලාංකික බිම් බෝම්බ ඉවත් කරන්නන්, රජය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ දායකත්වය ඔහු අගය කළේය.
MAG සංවිධානය 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ කටයුතු කරන අතර, මේ වනවිට මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. එහි කණ්ඩායම් මේ වනවිට ප්‍රජාවන් සඳහා ආරක්ෂිත වන පරිදි වර්ග කිලෝමීටර් 103කට ආසන්න භූමි ප්‍රමාණයක් නිදහස් කර තිබේ.


