යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57කට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සේවයේ නිරත සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකු වෙත “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිරිනමනු ලැබීය.

නිත්‍ය හමුදා සේවයේ නියුතු නිලධාරීන් විසින් රට වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී සහ කැපවීමෙන් යුතු සේවය අගය කරමින් මෙම පදක්කම් පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙම උත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, සෑම අවස්ථාවකදීම තම රාජකාරි සහ වගකීම් වෙනුවෙන් කැපවෙමින් පදක්කම්ලාභීන් රටට සහ ජනතාවට සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති බවයි.

දිවා රාත්‍රී නොතකා මෙන්ම කාලගුණික තත්ත්වයන් හිතකර හෝ අහිතකර වුවද, තම ජීවිත පවා අවදානමට ලක්විය හැකි අවස්ථාවලදී පවා ඔවුන් සිය සේවය අඛණ්ඩව ඉටු කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එවැනි කැපවීමකින් සහ වගකීමකින් යුතුව කටයුතු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මගින් ස්ථාපිත කරන ලද සුවිශේෂී හමුදා සම්මානයකි.

අවම වශයෙන් අඛණ්ඩව වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සහ ප්‍රශංසනීය සේවා වාර්තාවක් පවත්වාගෙන ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා මෙම සම්මානය පිරිනැමේ.

මෙම පදක්කම පිරිනැමීම, අවලංගු කිරීම සහ යළි පිරිනැමීම සම්බන්ධ කටයුතු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි අනුව සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *