මුතුරාජවෙලට කුමක් වෙයිද ?

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබු මුතුරාජවෙල අභයභූමිය ගැසට් නිවේදනයකින් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම හරහා දිර්ඝ කාලීනව පදිංචිව සිටි ගම්බිම් පවා ඊට යටත් කොට ඇති බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ලවී තිබේ.

කෙසේවෙතත් නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම භූමියේ වසර ගණනාවක සිට සිදුවන පාරිසරික හානිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

කොළඹ දිස්ත්‍රික්කයේ පෙනහළු ලෙස හඳුන්වන මුතුරාජවෙල අභයභූමිය ආශ්‍රිත තෙතිබිම් පරිසර පද්ධතිය හෙක්ටයාර් 6,232ක් පමණ ප්‍රදේශයක පැතිර පවතී.

ඉන් හෙක්ටයාර් 3,164ක් මීගමුව කලපුවෙන්ද හෙක්ටයාර් 3,068ක් වගුරු බිම් කලාපයෙන්ද සමන්විතය.

මෙම මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වළක්වාලමින් මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය සංරක්ෂණය තිරසර භාවිතය හා රැම්සා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් මස 7 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එය නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

කෙසේවෙතත් මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් විවේචන එල්ල වෙයි.

මේ අතර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ඊයේ මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කර තිබුණි.

“දැන් මේ ගැසට් එකක් ගහලා පිස්සු නටනවා. මේ මිනිස්සු අවුරුදු 100, 200 මේ පැත්තේ හිටියා. කවුද ඒ. කොහේ ඉඳලා ආපු කට්ටිය ද?”

කෙසේවෙතත් නාගරික සංවර්ධන අධිකාරිය මාධ්‍ය හමුවක් පවත්වමින් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දැක්වා තිබුණි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා,

“අදටත් ගොඩ කර කර ඉදිකරනවා. මේක තමයි මුතුරාජවෙලට තියෙන තර්ජනය. මේක හානියක් කරන දෙයක් නෙමෙයි. විසඳුම් දෙන වැඩක්.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *