ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ ස්විට්සර්ලන්තයේ පැවති සූරිච් දියමන්ති ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව මීටර් 92.07ක දැවැන්ත දක්ෂතාවක් දක්වමින් ජයග්රහණය කර තිබේ.
23 හැවිරිදි තරංග මෙම ජයග්රාහී විසිකිරීම සිදුකර ඇත්තේ අගෝස්තු 27 වැනි බ්රහස්පතින්දා පැවති වෙල්ට්ක්ලාසේ සූරිච් තරගයේදී සිය හයවැනි සහ අවසන් අවස්ථාවේදීය.
ඔහුගේ මීටර් 92.07ක දක්ෂතාව සූරිච් තරගයේ වාර්තාව වන මීටර් 92.28ට වඩා අඩු වූයේ සෙන්ටිමීටර් 21කින් පමණි.
තරංග තරගයේ ආරම්භයේදීම මීටර් 88.23ක් සහ මීටර් 89.90ක් දුරට හෙල්ල විසිකරමින් තරගයේ පෙරමුණ ගෙන සිටි අතර, අවසන් වටයේදී මීටර් 92.07ක දක්ෂතාවක් වාර්තා කරමින් ජය තහවුරු කළේය.
ග්රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 86.93ක මෙම වසරේ හොඳම දක්ෂතාව වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත්වූ අතර, පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් මීටර් 85.16ක දක්ෂතාවක් සමඟ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
මෙය මෙම තරග වාරයේ තරංග ලැබූ සිව්වැනි දියමන්ති ලීග් ජයග්රහණයයි.
ඔහු මීට පෙර දෝහා, රෝමය සහ ලෝසෑන් යන නගරවල පැවති දියමන්ති ලීග් තරග ජයගත් අතර, රබාට් තරගයේදී දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරග මාලාව අවසන් වන විට ලකුණු 39ක් ලබා ගනිමින් තරංග දියමන්ති ලීග් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.
මීටර් 92.07ක විසිකිරීම තරංගගේ ක්රීඩා දිවියේ දෙවැනි හොඳම දක්ෂතාව වන අතර, ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාව වන්නේ මෙම වසරේ මුලදී රෝම දියමන්ති ලීග් තරගයේදී වාර්තා කළ මීටර් 92.62යි.
ඊළඟට තරංග පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්රමුඛතම සුදුසුකම් ලාභියා ලෙස තරග වාරයේ අවසන් දියමන්ති ලීග් අවසන් තරගාවලිය සඳහා බ්රසල්ස් වෙත පිටත්ව යාමට නියමිතය.


