මාලදිවයිනට රත්තරන් කිලෝග්රෑම් දෙකකට වැඩි ප්රමාණයක් නීතිවිරෝධී ලෙස ප්රවාහනය කළ බවට වරදකරු කරමින් එරට අපරාධ අධිකරණය මඟින් නියම කරන ලද වසරක සිරදඬුවම සම්පූර්ණයෙන්ම විඳ අවසන් වූ ශ්රී ලාංකිකයෙකු, මාලදිවයින් මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
මාලදිවයින් මාධ්ය වාර්තාවලට අනුව, මොහොමඩ් සුලෙයිමාන් නමැති මෙම ශ්රී ලාංකිකයාට 2025 ඔක්තෝබර් 28 වැනි දින මාලදිවයින් අපරාධ අධිකරණය විසින් වසරක සිරදඬුවමක් නියම කර තිබූ අතර, හරියටම වසරකට පසුව එනම් 2026 ඔක්තෝබර් 28 වැනි දින එම වරදකාරී තීන්දුව අහෝසි කිරීමට මහාධිකරණය පියවර ගෙන ඇත.
සිද්ධියේ පසුබිම
මෙම නඩුවට පාදක වූ සිදුවීම වාර්තා වන්නේ 2023 සැප්තැම්බර් 21 වැනිදාය. ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මාලදිවයිනේ වේලානා ජාත්යන්තර ගුවන් තොටුපොළට (Velana International Airport) පැමිණි මෙම ශ්රී ලාංකිකයා, කිසිවක් ප්රකාශ කිරීමට නොමැති මගීන් ගමන් ගන්නා ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටවීමට උත්සාහ කර තිබේ.
එහිදී රේගු නිලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කිරීමේදී, ඔහුගේ ඩෙනිම් කලිසමේ සාක්කුවල සහ යට ඇඳුම තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රන් පේස්ට් (Gold paste) ග්රෑම් 2,282ක් (කිලෝ 2කට අධික ප්රමාණයක්) සොයාගෙන තිබිණි.
අනතුරුව මාලදිවයින් රේගු පනතේ 97(අ) වගන්තිය යටතේ භාණ්ඩ ජාවාරම් කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව නඩු පවරා වසරක සිරදඬුවමක් නියම කිරීමට එරට අපරාධ අධිකරණය කටයුතු කළේය.
මහාධිකරණයේ ඓතිහාසික නීති තීන්දුව
කෙසේවෙතත්, මෙම අභියාචනය විභාග කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ, ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා මඟින් ජාවාරම් කිරීමේ (Smuggling) වරදක් නීත්යානුකූලව තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.
අදාළ රන් තොගය මාලදිවයින තුළට රැගෙන ඒම තහනම් කරන ලද භාණ්ඩයක් නොවන බවත්, එය රේගු බද්දට යටත් වන භාණ්ඩයක් නොවන බවත් නඩු විභාගයේදී පැමිණිල්ල විසින්ම පිළිගෙන තිබූ බව මහාධිකරණය පෙන්වා දුන්නේය.
රේගුවට ප්රකාශ නොකරන ලද රත්තරන් ‘අනවසර භාණ්ඩයක්’ ලෙස සැලකිය හැකි බවට රජයේ නීතිඥවරුන් ගෙන ආ තර්කය ප්රතික්ෂේප කළ මහාධිකරණය, යම් ක්රියාවක් නීතිය මඟින් නිශ්චිතවම සාපරාධී වරදක් ලෙස අර්ථ දක්වා නොමැති තාක් කල්, එම ක්රියාව අපරාධමය වරදක් බවට පත්කළ නොහැකි බවට අවධාරණය කළේය.
ඒ අනුව, අපරාධ අධිකරණය ලබාදුන් තීන්දුව ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව තීන්දු කළ මහාධිකරණය එම වරදකාරී තීන්දුව සම්පූර්ණයෙන්ම නිෂ්ප්රභ කර ඔහුව නිදොස් කොට නිදහස් කළේය.
මොහොමඩ් ෂනීස්, හුසේන් මසීඩ් සහ හුසයිෆා මොහොමඩ් යන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරන ලදී. කෙසේවෙතත්, මෙම නිදහස් කිරීමේ නියෝගය ලැබෙන විටත් අදාළ ශ්රී ලාංකිකයා පහළ අධිකරණය නියම කළ වසරක සම්පූර්ණ සිරදඬුවම විඳ අවසන් කර තිබීම විශේෂත්වයකි.


