මාතර තරුණ තරුණියන්ටත් ෆයිසර් එන්නත ලබාදීම ඇරඹේ

මාතර දිස්ත්‍රිකක්කයේ ප්‍රදේශ කිහිපයක කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීම අද සිට ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණයින් සඳහා මෙම එන්නත ලබා දෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය, වෙහෙරහේන රජමහා විහාරය, මාතර රාහුල විද්‍යාලය, කනත්තගොඩ වනිගසේකර කණිෂ්ඨ විද්‍යාලය යන ස්ථානවලදී අද උදෑසන 08.00 සිට මෙම එන්නත ලබාදෙන බව සඳහන්ය.

යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් මෙම එන්නත්කරණය සිදු කරන අතර එළඹෙන 12 වනදා දක්වා මාතර දිස්ත්‍රික්කය තුළ ෆයිසර් එන්නත ලබාදීමට පියවර ගෙන තිබේ.

මීට දින කිහිපයකට ඉහතදී ෆයිසර් එන්නත හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට ද ලබාදීම ආරම්භ කළේය.

මේ අතර ගතවූ දිනයේ පුද්ගලයින් 425,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදී‍ම සිදු කර තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 2,964 ක් ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 471,863කි.

73,081 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවන අතර ඉන් 388,278 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කර ඇත.

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සහ ඉහළ වයස් කාණ්ඩවල පිරිස්වලට පළමු හා දෙවන මාත්‍රා ලබාදීම තවදුරටත් දිවයිනේ විවිධ ස්ථානවලදී සිදුකෙරේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 29 ලක්ෂ 52,755කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 97 ලක්ෂ 14,857ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර කොවිඩ් රෝගීන් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ඇඳන්, ශල්‍ය මුව ආවරණ, KN 95 මුව ආවරණ, අත්වැසුම් ඇතුළු උපකරණ තොගයක් අමෙරිකානු තානාපති කාර්යාලය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ පරිත්‍යාග කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *