බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන පද්ධතිය මේ වනවිට ඉන්දියාව තුළට ගමන් කර ඇති අතර, උතුරු ආන්ද්‍ර ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා එය ගොඩබිමට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් බටහිර මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශවල තද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, විටින් විට සුළං වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, වැඩිදුර දැනුම්දීමක් සිදුකරන තුරු උතුරු අක්ෂාංශ 10° සහ 22° අතරත්, නැගෙනහිර දේශාංශ 82° සහ 90° අතරත් පිහිටි මුහුදු ප්‍රදේශවලට නාවික සහ ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.
දැනට එම මුහුදු ප්‍රදේශවල කටයුතු කරමින් සිටින පිරිස් පීඩනයට ලක්විය හැකි මුහුදු ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසද දැනුම් දී ඇත.
මෙම මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවල නිරත පිරිස් අවධානයෙන් සිටින ලෙසත්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මේ අතර, අද (25) කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
අනෙකුත් මුහුදු ප්රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං නිරිතදිග දිශාවෙන් හමා එන අතර, සාමාන්‍ය සුළං වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පවතිනු ඇත.
කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා ත්‍රිකුණාමලයේ සිට මීගමුව දක්වාත්, හම්බන්තොට හරහා ගාල්ලේ සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට සුළං වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා ඉහළ යා හැකිය.
එමෙන්ම, බේරුවල හරහා මීගමුවේ සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 55ත් අතර දක්වා ඉහළ යා හැකි බවද සඳහන් කර තිබේ.
කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා ත්‍රිකුණාමලයේ සිට මීගමුව දක්වාත්, හම්බන්තොට හරහා ගාල්ලේ සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය.
බේරුවල හරහා මීගමුවේ සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.


