බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර ඉඩම භාවිතය අත්හිටුවීමට පියවර

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ දේපළක් භාවිත කිරීම අත්හිටුවීමට පියවර ගන්නා බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අධිකරණයට දැනුම් දී තිබේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව මෙම පියවර ගනු ලබන අතර, එය මාතර, එලියකන්ද පාරේ බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරකට ආසන්න ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින නඩුවකි.

මෙම ඉඩම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් FCID විසින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුව පවරා ඇති අතර, එම දේපළ පොල් වගා භූමියක් ලෙස වාර්තා වී තිබේ.

නඩුවට අදාළව ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව, මෙම ඉඩම මීට පෙර ජර්මානු ජාතික හර්බට් කෙලර් මහතාට අයත්ව තිබී ඇති අතර, එය හිටපු අමාත්‍යවරයා විසින් රු. මිලියන 60කට මිලදී ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර, නඩුවේ මීට පෙර පැවති අවස්ථාවකදී බැසිල් රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ ඇප මුදල් රාජසන්තක කිරීමටත්, ඇපකරුවන්ගෙන් ඇප මුදල් අයකර ගැනීමටත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *