බලු සුරතලා බේරාගැනීමට ගිය පුද්ගලයා ළිඳට වැටී මරුට

දෙල්ගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි සුනඛයෙක් බේරාගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් එම ළිඳට ම වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වු දෙදරු පියෙකි.

සුනඛයා ළිඳට වැටී ඇති බව දැනගත් විගස අදාළ පුද්ගලයා ඊයේ සවස 6ට පමණ කඹයක ආධාරයෙන් ළිඳට බැස තිබේ.

පසුව සුනඛයා ද සමඟ ගොඩ ට පැමිණෙමින් සිටිය දී කඹය කැඩී සුනඛයා හා එම පුද්ගලයා අඩි 30ක පමණ ගැඹුරක් ඇති ළිඳට වැටී ඇත.

ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස අදාළ පුද්ගලයා ගොඩ ගෙන රෝහල්ගත කර ඇතැත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය පවසයි.

ළිඳ ඉසීමට යොදාගත් මෝටරයේ එල්ලී සුනඛයා ගොඩ ට පැමිණ තිබේ.

අදාළ සිදුවීම දුටු තරුණයෙක් ඒ පිළිබඳ මෙසේ පැහැදිලි කළේය.

“බල්ලා වැටුණට පස්සේ, එයා කඹ දෙකක් ගෙන්නලා බැස්සා. එකක් අල්ලගෙන බැස්සේ. අනිත් එක ගැට ගහගෙන බැස්සේ. බල්ලා අරගෙන ටිකක් ගොඩට එද්දි බඩේ තිබුණ ලණුව ලිහිණා. එයාව ඇතුළට වැටුණා. එක පාරක් උඩ ඇවිල්ලා ආපහු යට ගියා. ටිකකින් යටටම ගියා ආයේ උ‍ඩ ආවේ නෑ. මාමලා කට්ටියක් ඇවිල්ලා බෙඩ් ෂීට් එකක් ඔතලා අරගත්තා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *