බදුල්ල ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 11,000ක දැවැන්ත සංවර්ධන වැඩසටහනක්

බදුල්ල ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 11,000ක වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා   රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ රෝගී සත්කාර සේවා ශක්තිමත් කිරීම, මානව හා භෞතික සම්පත් පුළුල් කිරීම, පවතින ගැටලු විසඳීම සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කිරීමයි.

දිස්ත්‍රික් මට්ටමින් රෝහල් කළමනාකරණ කමිටු රැස්වීම් මාලාවක් දිවයින පුරා පැවැත්වෙන අතර, මෙය එහි 11 වැනි රැස්වීමයි. එමගින් සෞඛ්‍ය සේවාවන් සැලසුම් සහගතව හා කඩිනමින් සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

වෛද්‍ය විජේමුණි මහතා පෙන්වා දුන්නේ රෝහල් සංවර්ධනය රට පුරා සිදුවෙමින් පැවතියද, අතීතයේදී සම්පත් සංවර්ධනය සඳහා විධිමත් වැඩසටහනක් නොතිබීම හේතුවෙන් විවිධ අසමතුලිතතා ඇති වී ඇති බවයි. ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සහ අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සැලසුම් සහගත පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් රෝහලේ පවතින ප්‍රධාන අවශ්‍යතා පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇති අතර, කාර්ය මණ්ඩල හිඟය, මහාචාර්ය ඒකකය සහ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම, පිළිකා ඒකකය සඳහා LINAC යන්ත්‍රයක් ස්ථාපනය කිරීම, හෘද කැතීටර් පරීක්ෂණාගාර පහසුකම් පුළුල් කිරීම, වෛද්‍ය හා රසායනාගාර උපකරණ ලබාගැනීම සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම ඒ අතර වේ.

මානව සම්පත් හිඟය පියවීම සඳහා බඳවා ගැනීම් මේ වන විට සිදුකෙරෙන අතර, අනුමත සංඛ්‍යාවට අමතරව විශේෂඥ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පත් කිරීමටද කටයුතු කරමින් පවතී. නව ඒකක සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල අනුමත කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

විකිරණ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම සඳහා Triple Energy LINAC යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් පවතින අතර, දැනට භාවිතයෙන් ඉවත් කළ යුතු Cobalt-60 යන්ත්‍රය වෙනුවට Single Energy LINAC යන්ත්‍රයක් ස්ථාපනය කිරීමටද සැලසුම් කර තිබේ.

හෘද කැතීටර් පරීක්ෂණාගාරය (Cath Lab) ව්‍යාපෘතියද අවසන් අදියරට පැමිණ ඇති අතර, රේගු නිෂ්කාශනය, උපකරණ ස්ථාපනය, විදුලි බල සැපයුම සහ කාර්ය මණ්ඩලය යෙදවීම කඩිනමින් සිදුකිරීමට පියවර ගනිමින් සිටී.

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා නිල නිවාස ලබාදීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර ඇති අතර, ඒ සඳහා වන වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.

ඌව පළාතේ ප්‍රධාන තෘතීයික මට්ටමේ සෞඛ්‍ය ආයතනය වන බදුල්ල ශික්ෂණ රෝහල අක්කර 9ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති අතර, එහි ඇඳන් 1,562ක්, වාට්ටු 43ක්, විශේෂිත ඒකක 65ක් සහ ශල්‍යාගාර 12ක් සංකීර්ණ හතරක් පුරා ස්ථාපිත කර ඇත.

වසරකට රෝගීන් 592,000කට පමණ සායනික සේවා ලබාදෙන අතර, තවත් රෝගීන් 371,000ක් පමණ බාහිර රෝගී අංශය හරහා ප්‍රතිකාර ලබති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *