Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පෝට් සිටියෙන් පොරොන්දු වුණේ සයිබර් ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රයක් වෙන්න නෙවෙයි”: විදේශිකයන්ගේ වීසා සහ සමාගම් දැඩිව පරීක්ෂා කරන්නැයි හිටපු කථානායකගෙන් අනතුරු ඇඟවීමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාව මහා පරිමාණ ජාත්‍යන්තර සයිබර් මූල්‍ය වංචාවන්ගේ (Cyber Scams) කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවට අනතුරු අඟවන හිටපු කථානායක කරු ජයසූරිය මහතා, මෙම වසර තුළ පමණක් පුද්ගලයන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබියදීත් ඉන් කිසිවෙකුට හෝ සාර්ථකව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීමට අපොහොසත් වීම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

‘X’ (හිටපු ට්විටර්) ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් හිටපු කථානායකවරයා පෙන්වා දෙන්නේ, ‘සන්ඩේ ටයිම්ස්’ (Sunday Times) පුවත්පත සිදුකළ විමර්ශනයකට අනුව 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ දිවයින පුරා සැකකටයුතු සයිබර් වංචා මධ්‍යස්ථාන 27ක් වටලා පුද්ගලයින් 1,093 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියන මෙම ජාත්‍යන්තර මාර්ගගත ජාවාරම්කරුවන්ට එරෙහිව මෙතෙක් කිසිදු සාර්ථක නඩු පැවරීමක් හෝ නීතිමය දඬුවමක් තහවුරු කරගැනීමට නොහැකි වූ බව පොලිසියම පිළිගෙන ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

“පෝට් සිටියෙන් පොරොන්දු වූ කේන්ද්‍රය මෙය නොවේ”

ශ්‍රී ලංකාව කර්මාන්ත මට්ටමේ මහා පරිමාණ සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් ඇති බවට ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයින් පවා අනතුරු අඟවා ඇති බව ජයසූරිය මහතා සිහිපත් කළේය.

කොළඹ වරාය නගර (Port City) ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, මෙරට ආකර්ෂණය කරගත යුත්තේ ජාත්‍යන්තර අපරාධ ජාලයන් නොව, ගෝලීය වශයෙන් විශ්වාසය දිනූ කලාපීය මූල්‍ය මධ්‍යස්ථානයක් (Financial Centre) බවට පත්වීමට අවශ්‍ය ආයෝජනයන් බවයි.

“කොළඹ වරාය නගරයෙන් අපේ රටට පොරොන්දු වූ කේන්ද්‍රස්ථානය මෙය නොවේ. කලාපීය මූල්‍ය මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුත්තේ ජාත්‍යන්තර විශ්වසනීයත්වය මතයි. මෙවැනි අන්තර්ජාල ජාවාරම් මධ්‍යස්ථාන දිගින් දිගටම වැටලීමට සිදුවීමෙන් ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කීර්තිනාමයට බරපතළ හානි සිදුවිය හැකියි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

නව නීති සහ වීසා පරීක්ෂාවන්ගේ අවශ්‍යතාව

මෙම අර්බුදයට විසඳුමක් ලෙස, මෙරට ලියාපදිංචි වන සමාගම් සහ විදේශිකයන්ට ලබාදෙන රැකියා වීසා (Work Visas) පිළිබඳව මීට වඩා දැඩි පසුබිම් විමර්ශනයක් සිදුකළ යුතු බවට හිටපු කථානායකවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම මෙරට පවතින සයිබර් අපරාධ නීති පද්ධතිය කඩිනමින් නවීකරණය කර ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.

“වරක් අහිමි කරගන්නා ජාත්‍යන්තර කීර්තිනාමයක් යළි ගොඩනැගීම අතිශය දුෂ්කර වනු ඇත,” යනුවෙන් කරු ජයසූරිය මහතා රජයට අවසන් වශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකළේය.

ඔබේ අදහස