ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරැප්පුවීදිය පොලිසියේ රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බැලීමට ඊයේ(7) පොලිසියට ආ පුද්ගලයකු ලබාදුන් බව කියන කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙසේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනුයේ සේරුනුවර පදිංචි (27) සහ කොළඹ 13 පදිංචි (29) හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 24 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙඩි තැබූ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රදවාගෙන සිටියදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත එම සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය දමා පලා ගිය පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබු බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනාම එකම කූඩුවට දමා තිබූ අතර ඊයේ(7) දහවල් 12.15 ට පමණ යතුරුපැදිය දමා පලා ගිය පුද්ගලයාට ආහාර ලබාදී සදහා පුද්ගලයකු පොලිසිය පැමිණ ඔහුට බනිස් ගෙඩියක් සහ කිරිපැකට්ටුවක් ලබාදී පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී තිබේ.