පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම අරමුණු කරගත් විශේෂ දීපව්‍යාප්ත ජාතික වැඩසටහනක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව එළඹෙන නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පාර්ලිමේන්තුව මඟින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී, අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති එම සංසදයේ විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ බවයි.
මෙම ජාතික මුලපිරීම යටතේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් සිය ආසන සහ දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට නියමිත අතර, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා කාන්තාවන් යොමුකිරීමේ ක්‍රියාකාරකම්වලට ඔවුන් සෘජුවම දායක වනු ඇත.
විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාවන්, වතුකර ප්‍රදේශ, නාගරික තට්ටු නිවාස සංකීර්ණ සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන් ‘සුවනාරී සායන’ වෙත යොමුකර පරීක්ෂණවලට භාජනය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම මන්ත්‍රීවරියන් අතර රෝස පැහැති පටි (Pink ribbons), අත්පළඳනා සහ ඇඳුම් භාවිත කරමින් පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය ප්‍රවර්ධනය කිරීමටද නියමිතය.
වසරකට රෝගීන් 6,000ක්; මරණ 1,000ක්
ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන බවත්, වසරකට කාන්තාවන් 1,000කට ආසන්න පිරිසක් මෙම රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී අනාවරණය කළහ.
පියයුරු පිළිකාවක් මුල් අවධියේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුවකළ හැකි රෝගයක් වුවද, පවතින අනියත බිය, සමාජයීය ලැජ්ජාව සහ දැනුවත්භාවයේ මදිකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම බරපතළ අභියෝගයක් බව ඔවුහු පෙන්වා දුන්හ. දැනට මෙරට වයස අවුරුදු 35 ත් 45 ත් අතර කාන්තාවන්ගෙන් සුවනාරී සායන වෙත පැමිණෙන්නේ සියයට 50ක පමණ ප්‍රතිශතයක් පමණක් බැවින්, පරීක්ෂණ වැඩසටහන් සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවක් පවතී.
මේ අතර, ලබන වසරේදී වයස අවුරුදු 35 සිට 45 දක්වා වන සියලුම කාන්තාවන් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ විධිමත් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක වන කාන්තා සමිති ඇතුළු ප්‍රජා සංවිධානද ඒ සඳහා දායක කරගැනීමට නියමිතය. ලබන ජනවාරි මාසයේදී ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමටද මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර ඇත.
ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ළමා ආරක්ෂණ නීති
සෞඛ්‍ය වැඩසටහන්වලට අමතරව, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය (Gender-responsive budgeting) සහ ජාතික පරිචාරක ප්‍රතිපත්තිය (National Care Policy) ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.
මීට අමතරව, ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීම, නඩත්තු නීති සහ දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීමට අදාළ පවතින නීතිවල අඩුපාඩු කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා වූ අතර, එම නීතිමය සංශෝධන කඩිනම් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.


