2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට පූර්ව තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා ඇති නඩුව සඳුදා (29) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබීය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ තමන් 1986 වසරේ සිට වසර නවයක් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ බවයි.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වික්‍රමරත්න මහතා වෙත ප්‍රශ්නයක් යොමු කළේය.
“පොලිස්පතිවරයා රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් බලවත් පුද්ගලයෙකි. ඔහු ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකි. ආරක්ෂක මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ට සමාන බලතල පොලිස්පතිවරයාට ඇත. විධායකය විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ පොලිස්පතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව විසිනි. ජාතික ආරක්‍ෂාව සහ දේශපාලනය සම්බන්ධ තොරතුරු රාජ්‍ය නායකයාව දැනුවත් කිරීම පොලිස්පතිවරයාටත් පැවරී තිබෙනවා” යැයි පැවසූ පොලිස්පති චන්දන වික්‍රමරත්න, පොලිස්පතිවරයා තවත් වැටුප් ලබන රාජ්‍ය නිලධාරියෙක් නොවන බවද පැවසීය.
ජාතික ආරක්ෂාව, අපරාධ පරිපාලනය සහ අනෙකුත් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට නිසි දැනුමක් තිබිය යුතු බව ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්‍ෂිකරුගෙන් ප්‍රශ්න කළේ පොලිස්පතිවරයාට “ඔත්තුවක්” ලැබුණහොත් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්නයි.
පොලිස්පතිවරයා පිළිතුරු දුන්නේ “එවැනි තොරතුරක් ලැබුණු විට ඒවා සොයා බලා අදාළ අංශ වෙත යොමු කර භූමියේ සක්‍රීය කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක්” බවයි.
“රාජ්‍ය ඔත්තු සේවය විසින් සපයනු ලබන බුද්ධි අංශ සම්බන්ධයෙන් ඔබගේ ආකල්පය කුමක්ද?” නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පොලිස්පතිවරයාට තවත් ප්‍රශ්නයක් යොමු කළේය.
සාක්‍ෂිකරු පිළිතුරු දුන්නේ, “රාජ්‍ය ඔත්තු සේවය විසින් සපයනු ලබන තොරතුරු පාර්ශවික හෝ සාවද්‍ය තොරතුරු ලෙස අපි සලකන්නේ නැත. අපි ක්‍රියා කරන්නේ එම තොරතුරු සත්‍ය බවට පදනම් කරගෙනය. පොලිස්පතිවරයාට කාරණයේ බර සැලකිල්ලට ගත යුතුය.”
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ආසන්න බවට රාජ්‍ය බුද්ධි අංශයෙන් තොරතුරක් ලැබුණහොත් පොලිස්පතිවරයා ලෙස තමන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් පොලිස්පතිවරයා, “එවැනි තොරතුරක් ලැබුණු විට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඉන්පසු එම තොරතුරු බුද්ධි මට්ටමට දියුණු කර එය භූමියේ ක්‍රියාත්මක කරන බවට පොලිස්පතිවරයා සහතික විය යුතුයි. ඒක පොලිස්පතිවරයෙකුගේම වගකීමක්.”
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට වෙනත් බුද්ධි අංශ වෙත බුද්ධි තොරතුරු සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇත්දැයි විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ප්‍රශ්න කළේය.
විනිසුරුවරයාට පිළිතුරු දුන් පොලිස්පති වික්‍රමරත්න මහතා, “ඔහුට රාජකාරියක් ලෙස නිල වශයෙන් එවැනි වගකීමක් නැත. අවශ්‍ය නම් ඔහුට එම තොරතුරු වෙනත් බුද්ධි අංශවලට දැනුම් දිය හැකියි.
“රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ලැබුණු බුද්ධි තොරතුරු බුද්ධි සමාලෝචන රැස්වීමකට ඉදිරිපත් කර සාකච්ඡා කළ හැකිද?” විනිසුරු මොහොමඩ් ඉර්ෂාදීන් විමසා සිටියේය.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට බුද්ධි සමාලෝචන රැස්වීමට බුද්ධි තොරතුරු ඉදිරිපත් කර සාකච්ඡා කළ හැකි බව පොලිස්පතිවරයා පිළිතුරු දුන්නේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2009 මැයි 6 වැනි දින වැඩ බලන පොලිස්පතිවරයා ලෙස තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට පැමිණිල්ලක් කළ බව සාක්ෂිකරු පිළිගත්තේය.
ඉන් අනතුරුව විත්තිකරු පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් දෙහිවල මහතා පොලිස්පති වික්‍රමරත්නගෙන් හරස් ප්‍රශ්න අසමින් පොලිස්පතිවරයකු පහළ නිලධාරියකුට ලිපියක් යොමු කළ විට ක්‍රියාත්මක වීමට නිලධාරීන් බැඳී නොසිටින්නේ දැයි විමසා සිටියේය.
පොලිස්පතිවරයා විසින් එවැනි උපදෙස් ඇතුළත් ලිපියක් එවූ විට එය ක්‍රියාත්මක කිරීමට පහත නිලධාරීන් කටයුතු කළ යුතු බව ඔහු පිළිගත්තේය.
පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරියා වෙත ලිපියක් යොමුකළහොත් ඒ අනුව කටයුතු කළ හැකි බව වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පිළිගත්තේය.
මේ අතර විත්තියේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නවලට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා අද පෙරවරුවේ පිළිතුරු දුන්නේය.
ජාතික තව්හිද් ජමාත් සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වන බවට 2019 අප්‍රේල් 4 වැනි දින තමාට ලැබුණු තොරතුර එම වසරේ අප්‍රේල් 20 වැනි දින සවස 4.15 වනතුරුත් “බුද්ධිය” ලෙස තහවුරු වී නොමැති බව ඔහු පිළිගත්තේය. කෙසේ වෙතත් ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට තමන් පොලිස්පතිවරයාට වරින් වර තොරතුරු දන්වා සිටි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 18 වැනිදා දක්වා කල් තැබිණි.