ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අගෝස්තු 18 සිට 21 දක්වා දින හතරක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 7 වැනිදා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව එම දින හතරේම පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග අංක 22(1) සිට 22(6) දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.
අගෝස්තු 18 අඟහරුවාදා
පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2496/38 මගින් ප්‍රකාශයට පත් කළ රෙගුලාසි අනුමත කිරීම සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 5.00ට, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය.
පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ යෝජනාවක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වේ.
අගෝස්තු 19 බදාදා
පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා මුදල් පනත යටතේ යෝජනාවක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිතය.
පස්වරු 5.00 සිට 5.30 දක්වා කල් තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
අගෝස්තු 20 බ්‍රහස්පතින්දා
පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාන්තාවන්, තරුණයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ අවස්ථාවේ යෝජනාවක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වේ.
අගෝස්තු 21 සිකුරාදා
පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ යෝජනාවක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිතය.


