ආසන පටිය පැළඳීම ප්‍රතික්ෂේප කළ දරුවෙකු නිසා ටොරොන්ටෝ ගුවන් ගමනක් අවලංගු කරයි

කුඩා දරුවෙකු ආසන පටිය පැළඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කැනඩාවේ ටොරොන්ටෝ බලා යාමට නියමිතව තිබූ ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුවූ බව Porter Airlines ගුවන් සමාගම පවසයි.

බ්‍රහස්පතින්දා සවස කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ Victoria International Airport සිට Toronto Pearson International Airport බලා පිටත්වීමට නියමිතව තිබූ PD444 ගුවන් යානය ආරක්ෂක හේතූන් මත ගමන නවතා දැමූ බව ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු CBC Toronto වෙත පවසා ඇත.

ගුවන් යානය ගුවන් තොටුපළ පර්යන්තයෙන් පිටත්ව ධාවන පථය වෙත ගමන් කරමින් සිටියදී, කුඩා දරුවෙකු සිය ආසනය මත සිටගෙන සිටි අතර ආසන පටිය පැළඳ නොසිටි බව සඳහන් වේ.

දරුවා සමඟ සිටි දෙමාපියෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය අවස්ථා කිහිපයකදී දරුවාට ආසන පටිය පැළඳවීමට උත්සාහ කළද එය සාර්ථක වී නොමැත.

ඒ හේතුවෙන් ගුවන් යානය ආරක්ෂිතව ගුවන්ගත කළ නොහැකි තත්ත්වයක් ඇතිවීම නිසා කාර්ය මණ්ඩලය ගුවන් යානය නැවත පර්යන්තය වෙත ගෙන ඒමටත්, මගීන් ඉන් ඉවත් කිරීමටත් පියවර ගෙන තිබේ.

දරුවා සහ දෙමාපියන් ගුවන් යානයෙන් ඉවත් කිරීම, ඔවුන්ගේ ගමන් මලු ලබාදීම සහ අවශ්‍ය ලේඛන කටයුතු නැවත සකස් කිරීම සඳහා ගත වූ කාලය හේතුවෙන් ගුවන් යානයට නියමිත වේලාවට පිටත්වීමට නොහැකි වූ බව ගුවන් සමාගම සඳහන් කළේය.

Victoria ගුවන් තොටුපළේ ධාවන පථය රාත්‍රී 12.30ට වසා දැමෙන බැවින් තවදුරටත් ප්‍රමාදයකින් පසු ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමද කළ නොහැකි වී තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් අනෙකුත් මගීන්ට සිදුවූ අපහසුතාව පිළිබඳව ගුවන් සමාගම සමාව ඉල්ලා ඇති අතර, එම මගීන් පසුදින ගුවන් යානයකින් පිටත්ව ගිය බවද සඳහන් කර ඇත.

අදාළ ගුවන් යානය පසුදින පස්වරුවේ සිය ගමන ආරම්භ කළ බව Porter Airlines වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *