රත්නපුර, මල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5ක් වයසැති පිරිමි දරුවෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවාගේ අවසන් කටයුතු ඊයේ රාත්‍රී සිදුකරනු ලැබුවේ රත්නපුර ආදාහනාගාරයේදීය.
මේ අතර කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ ආගමික වතාවත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේදීම සිදුකළ බව කියන දුර්ලභ පුවතක් නාවලපිටිය රෝහලෙන් වාර්තා විය.
ඒ පසුගියදා නාවලපිටිය රෝහලේදී මියගිය කිතුල්ගල පදිංචිව සිටි 86 හැවිරිදි සයදරු පියාණන් වෙනුවෙනි.
මියගිය පියාණන් වෙනුවෙන්, ආගමික වතාවත් සිදුකර තිබුණේ, දැඩි සත්කාර ඒකකයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගම්පොළ සිරි සුමනජෝති විශ්වවිද්‍යාල පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය කොත්මලේ සුමනරත්න හිමියන් විසිනි.
මේ අතර කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදුකිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා වැයවන මුදල් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී තීරණය කර තිබුණි.
ඒ අනුව 2021.08.31 දින දක්වා සිදුකල කොවිඩ් මරණ 2,417 ක් සඳහා එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රුපියල් 5,000 ක් බැඟින් රුපියල් 12,085,000.00 මුදලක් ප්‍රථම අදියරේදී ඒ ඒ සභාවන්ට ලබා දීමට පියවර ගෙන ඇත.
පළාත් පාලන ආයතන 69 ක් සඳහා එම මුදල යොමු කර තිබේ.
සබරගමුව 488 ක්, වයඹ 391 ක්, මධ්‍යම 260 ක්, ඌව 171 ක්, දකුණ 537 ක්, උතුරු මැද 100 ක්, බස්නාහිර 399 ක් සහ නැගෙනහිර පළාතේ 71 ක් කොවිඩ් මරණ සඳහා එම මුදල ලබා දී ඇත.
අවශ්‍යතාවය මත ඕනෑම මොහොතක කොවිඩ් මරණ ආදාහනය සඳහා වැයවන මුදල් ප්‍රමාදයකින් තොරව කඩිනමින් ඒ ඒ පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍යාංශ ලේකම් බන්දුල බොරලැස්ස මහතාට එහිදී උපදෙස් ලබා දී තිබේ.