තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේ පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බව සඳහන් කරමින්ය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,ළුස්.තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.
මෙම පෙත්සමේ වගුත්තරකරුවන් හැටියට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
දැව තෙල් නිෂ්පාදන සමාගමක බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් මිලියන දහයක අල්ලස් ලබා ගන්නා ලදැයි චෝදනා කරමින් තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පසුව ඇප මත මුදා හරින ලද බව පෙත්සමේ සඳහන්ය.
කිසිදු පදනමක් නොමැතිව නීතියට පටහැනි අන්දමින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද වන්දි ලබාදෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.