Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පරිගණක 23ක් පොලිස් භාරයට: පාණදුරේදී සයිබර් ජාවාරමක් කොටුකරගනී

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මාර්ගගත (Online) ක්‍රමයට මහා පරිමාණ මූල්‍ය වංචාවන් සහ නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතුවල නිරත වන බවට ලද තොරතුරකට අනුව, චීන ජාතිකයින් 32 දෙනෙකු නවාතැන් ගෙන සිටි පාණදුර ප්‍රදේශයේ හෝටලයක් විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක්කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පාණදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලද රහසිගත තොරතුරක් මත, පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය නොවැම්බර් 06 සහ 07 යන දිනයන්හිදී නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය වටලා පරීක්ෂා කර තිබේ.

මෙම විශේෂ මෙහෙයුම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය, පොලිස් නිල සුනඛ අංශය සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහයෝගයද ලබාගෙන ඇත.

පරිගණක 23ක් පොලිස් භාරයට

සෝදිසි මෙහෙයුම අතරතුරදී හෝටලයේ නවාතැන් ගෙන සිටි චීන ජාතිකයින් 32 දෙනෙකු හමුවී ඇති අතර, ඔවුන් භාවිත කළ ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක 23ක් ඇතුළු ඊට අදාළ උපාංග රැසක් ඉදිරි විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ උපකරණ පාණදුර දකුණ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් විසින් කිසියම් සාපරාධී හෝ සයිබර් මූල්‍ය වංචාවක් සිදුකර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

හෝටල් සහ නවාතැන් හිමියන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මෑත මාස කිහිපය තුළ හෝටල්, තානායම්, නිවාඩු නිකේතන සහ කුලී නිවාස කේන්ද්‍ර කරගනිමින් විදේශිකයන් විසින් මෙහෙයවනු ලබන මෙවැනි සංවිධානාත්මක මාර්ගගත මූල්‍ය වංචා රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අනාවරණය වී ඇති බව පොලිසිය සිහිපත් කරයි.

එබැවින් තම හෝටල් හෝ නවාතැන් පහසුකම් ලබාදීමේදී විදේශිකයන් පිළිබඳව දැඩි සුපරීක්ෂාකාරීත්වයෙන් පසුවන ලෙසත්, සැකකටයුතු ක්‍රියාකාරකම් නිරීක්ෂණය වුවහොත් වහාම 118 හෝ 119 හදිසි ඇමතුම් අංක ඔස්සේ හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසත් පොලිසිය හෝටල් හිමියන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබේ අදහස