නිරෝධායන මාර්ගෝපදේශ සංශෝදනය කෙරේ

සංචාරක තහනම් පනවා නොමැති රටවල සිට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මෙරටට පැමිණෙන පුද්ගලයින් පළමු පරීක්ෂණයෙන් (On arrival PCR test) කොවිඩ් ආසාදිතයෙකු නොවන්නේ නම් එවැනි පුද්ගලයින්ට දින 7කට පසුව දෙවන පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව බලධාරීන් පවසයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පෙන්වාදෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව, සංචාරක තහනමක් පනවා නොමැති රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සදහා පළමු පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු ලෙස තහවුරු නොවන්නේ නම් ඔහුට නිරෝධායනය නොවී බැහැරට යාමේ අවස්ථාව හිමිවනු ඇති බවද නව මාර්ගෝපදේශ අනුව දැක්වේ.

කෙසේවෙතත් අවුරුදු 2ත් 18ත් අතර වයසේ පසුවන ළමුන් දින 7කට පසුව පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකිරීම තවදුරටත් අවශ්‍ය බව එහි සඳහන් වේ.

ඉන්දියාව, දකුණු අමෙරිකානු සහ අප්‍රිකානු වැනි රටවල් සඳහා පනවා ඇති සංචාරක තහනම අඛණ්ඩව පවතින අතර වියට්නාමය සඳහා පනවා තිබූ තහනම ඉවත්කර තිබේ.

කෙසේවෙතත් අදාළ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට රජයේ නිසි අවසරය සහිතව දිවයිනට පැමිණිමට හැකියාව පවතින අතර ඔවුන් රජය මගින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානයක දින 14ක් අනිවාර්ය නිරෝධායනය සඳහා යොමුවිය යුතු බවද සංචාරකයින් සඳහා වූ සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *