දැනට සංවර්ධනය කරමින් පවතින නාවින්න ක්‍රීඩාංගණය මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
සංවර්ධන කටයුතු අවසන් වූ පසු ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම නොමිලේ ජනතාවට භාවිත කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, ප්‍රදේශවාසීන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ තරුණ තරුණියන්ට කිසිදු ගෙවීමකින් තොරව ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව සැලසෙනු ඇත.
අමාත්‍යවරයා මෙම නිවේදනය සිදු කළේ ඉරිදා (11) ක්‍රීඩාංගණයේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ, මීට පෙර අතහැර දමා තිබූ කසළ බැහැර කරන ස්ථානයක් ජනතාවගේ ක්‍රීඩා හා විනෝදාත්මක අවශ්‍යතා සපුරාලිය හැකි පහසුකම්වලින් සමන්විත නවීන ක්‍රීඩාංගණයක් බවට පරිවර්තනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 නොවැම්බර් 13 වැනිදා මෙම ව්‍යාපෘතියේ මුල්ගල තබා ඇති අතර, මේ වන විට ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක පුළුල් වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිය ප්‍රසාදය පළ කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.


