නව තරග වාර්තා 30ක් බිඳදමමින් 36 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල නිමාවෙයි: ගම්පහ සහ මහනුවර සමස්ත සම ශූරතාව දිනාගනී

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති 36 වැනි ‘ජාතික යොවුන් ක්‍රීඩා මහෝත්සවයේදී’ නව පිහිනුම් වාර්තා 21ක්ද ඇතුළුව නව තරග වාර්තා 30ක් පිහිටුවීමට මෙරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
“යෞවනය බලගන්වමු, සහජීවනය සමරමු” (Empowering Youth, Celebrating Unity) යන තේමාව යටතේ පසුගිය ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දෙදින පුරා පැවති මෙම දැවැන්ත ක්‍රීඩා සැණකෙළිය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කර තිබිණි.
දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක යොවුන් ක්‍රීඩකයින් දැක්වූ තියුණු තරගකාරීත්වයෙන් අනතුරුව, ලකුණු 130 බැගින් සමව ලබාගත් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක මෙවර තරගාවලියේ සමස්ත සම ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. ලකුණු 106ක් ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයට තෙවැනි ස්ථානය හිමිවිය.
“මත් උවදුර පරදවන්න ක්‍රීඩාවෙන් පිරි පරපුරක්”
ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, වර්තමානයේ රටේ තරුණ පරපුර බෝ නොවන රෝගවලින් ආරක්ෂා කරගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් හමුවේ පවතින ප්‍රමුඛතම අභියෝගයක් බවයි.
විශේෂයෙන්ම තරුණ පරපුර බිලිගන්නා ‘අයිස්’ (ICE) සහ හෙරොයින් ඇතුළු මාරාන්තික මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දමා, ක්‍රීඩාවට ලැදි නිරෝගී ජන පරපුරක් බිහිකිරීම රජයේ ප්රමුඛ ඉලක්කය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයින් ඉන් මුදාගෙන ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීමේදී ඇතිවන හිස්තැන පිරවීම සඳහා ක්‍රීඩාව ප්‍රබල ඔසුවක් වන බව පෙන්වා දුන් ඒ මහතා, ඒ වෙනුවෙන් අමාත්‍යාංශ කිහිපයක් සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසීය. එමෙන්ම බිම් මට්ටමේ සිටින දක්ෂ යොවුන් ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන්ව ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ වැදගත්කමද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම වර්ණවත් සමාප්ති උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ පදක්කම් පිරිනැමීමද එහිදී සිදුවිය.




