ව්යාපාරික ධම්මික පෙරේරා මහතා ආයෝජන යෝජනා ප්රවර්ධනය කරන බවට ව්යාජ ලෙස පෙන්වන, කෘත්රිම බුද්ධිය (AI) යොදා වෙනස් කරන ලද වීඩියෝ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
නිල නිවේදනයක් නිකුත් කරමින් ධම්මික පෙරේරා මහතාගේ කාර්යාලය පැහැදිලි කර ඇත්තේ, එම වීඩියෝ, ඒවායේ දැක්වෙන ආයෝජන වේදිකා හෝ එමඟින් ඉදිරිපත් කරන ප්රකාශ සමඟ ඔහුට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් ද්වේෂසහගත ලෙස මෙම වීඩියෝ නිර්මාණය කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
එවැනි අන්තර්ගතයන් දුටුවහොත් අදාළ සමාජ මාධ්ය වේදිකාවලට, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයට (Sri Lanka CERT) report@cert.gov.lk යන විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ හෝ නීතිය ක්රියාත්මක කරන බලධාරීන් වෙත පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
සත්ය සහ නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා ධම්මික පෙරේරා මහතාගේ නිල සමාජ මාධ්ය ගිණුම් පමණක් විශ්වාස කරන ලෙසද ඔහුගේ කාර්යාලය ජනතාවට උපදෙස් දී ඇත.


