දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් හරහා දළ වශයෙන් රුපියල් බිලියන 12.25 ක මුදලක් සංසරණය වී ඇති බවට මේ වන විට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත් නවාන මහතා මේ බව අනාවරණය කළේය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එල්ල වී ඇති චෝදනාවලට අමතරව මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතාට එරෙහිව විමර්ශනය කෙරෙන අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට විදේශ ගමන් තහනමක් දැනටමත් නිකුත් කර ඇත.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයින් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා චෝදනා කළේ ජෙරොම් දේවගැතිවරයාට එරෙහිව සිදුකෙරෙන විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් තම සේවාදායකයින්ට දක්නට නොමැති බවයි. ආගමික සංහිඳියාවට හානි වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකට විකට නළු නතාෂා එදිරිසූරියට සහ පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් දැඩි නීතිමය පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.
මේ අතර, මුදල් විශුද්ධිකරණ පනත යටතේ තම සේවාදායකයාට එරෙහිව විමර්ශනයක් සිදුකිරීමට තමන් විරුද්ධ නොවන බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
කරුණු සැලකිල්ලට ගත් ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විමර්ශනවල ප්‍රගතිය දැනගැනීම සඳහා පෙත්සම් ඔක්තෝම්බර් 27 වැනිදාට නියම කළේය.
රටේ ආගමික සංහිඳියාවට එරෙහිව ද්වේශ සහගත ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ආගමික නායකයින් පිරිසක් සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා සිටිති.
කෙසේ වෙතත්, මෙම ආන්දෝලනාත්මක ඉරිදා දේශනාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වෙනම අයදුම්පතක් මගින් ඉල්ලා සිටියි.