දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිතාරක්ෂක කටයුතු සඳහා බහු පාර්ශ්වීය ජාතික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකින් අනතුරුව පැවති මෙම රැස්වීමේදී, ශ්‍රී ලංකාව පුරා දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සහ ජන ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
මෙම සාකච්ඡාව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර මහතා පැවසුවේ දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම සමාජ ගැටලුවක් පමණක් නොව, විශාල මහජන ආරක්ෂක ගැටලුවක් බවයි.
එමෙන්ම, ක්‍රමවත් සහ තිරසාර ජාතික යාන්ත්‍රණයක අවශ්‍යතාව අවධාරණය කළ ඔහු, ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් නොමැතිවීම තවදුරටත් බරපතළ අවදානමක් ඇති කරන බව සඳහන් කළේය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා සාකච්ඡාවේදී යෝජනා කළේ ජල ආරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය ජාතික පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බවයි.
ගංගා, වැව්, ජලාශ සහ වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂිත හැසිරීම් පිළිබඳ දැනුවත්භාවය කුඩා වියේ සිටම සිසුන් අතර වර්ධනය කිරීමට එම පියවර උපකාරී වනු ඇති බවද ඔහු පැවසීය.
මේ අතර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ජීවිතාරක්ෂක කටයුතු සඳහා තරුණ පරපුරට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව අවධානය යොමු කළේය.
වෘත්තීය ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට සහාය විය හැකි ස්වේච්ඡා ජාලයක් ගොඩනැගීම සඳහා ක්‍රමවත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.
සාකච්ඡාවෙන් අනතුරුව, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් බහු පාර්ශ්වීය කමිටුවක් පිහිටුවීමට සහ එයට අදාළ සියලුම රාජ්‍ය ආයතන හා පාර්ශ්වකරුවන්ගේ නියෝජනය ලබාදීමට එකඟ විය.
මෙම කමිටුවට රට පුරා ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික සහ තිරසාර “දියේ ගිලීම් වැළැක්වීම හා ජීවිතාරක්ෂාව සඳහා ජාතික යාන්ත්‍රණයක්” සකස් කිරීමේ වගකීම පැවරී ඇත.
මෙම රැස්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීන්, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආරක්ෂක, සෞඛ්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු සහ සංචාරක අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ නියෝජිතයෝද සහභාගී වූහ.


