දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්රිත දරුවන් බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක වියයුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව වතු ආශ්රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතු බැවින් යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගතයුතු බවද ජනාධිපතිවරයා පවසයි.
අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නොයැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන අධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදාකරදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ.