දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමි

දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමි

ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක මංගලධර්ම කීර්ති ශ්‍රී දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නාහිමිපාණන් වහන්සේ අපවත් වී මෙම අගෝස්තු මස 13 වෙනි දිනට වසර 35 ක් සපිරිණි.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ මහ වනය ගිලගෙන තිබූ සේරුවිල ඓතිහාසික මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් ඇරඹි ශාසනික මෙහෙවර ආගමික, සාමාජික, ජාතික සියලු අංශවලින් නැගෙනහිර පළාතට උත්කෘෂ්ට සේවාවක් සිදුකළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා ඉතිහාසයට යුග පුරුෂයෙකු වශයෙන් එක් වී සිටිති.

කාවන්තිස්ස මහ රජතුමා විසින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ තැන්පත්කර ගොඩනංවනු ලැබූ ඓතිහාසික සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ශත වර්ෂ ගණනාවකට පසු මහ වනයෙන් මුදාගෙන යළිදු දේශයට දායාද කරන්නට අප්‍රමාණ වූ කැපවීම් කළහ. දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමිපාණන් වහන්සේ මාතර දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයට නුදුරු දඹගස්ආර ගම්මානයේ විසූ රත්නවීර පටබැඳිගේ දොන් මෙන්දියස් සහ ඔලොක්කුවේ පටබැඳිගේ නෝනච්චි හාමි දෙමාපිය යුවලගේ සිවුවෙනි දරුවා, රත්නවීර පටබැඳිගේ දොන් නිකලස්ය. 1892 දෙසැම්බර් 09 වෙනිදා උපත ලැබූ මේ දරුවා විසින් පන්සල් අධ්‍යාපනය ලබා ගන්නා ලදී. එම කුමරුවා වයස අවුරුදු දහය සපිරෙද්දී දොඩන්දූවේ ශෛල බිම්බාරාමාධිපති දොඩන්දූවේ සිරි පියරතන තිස්ස මහානා හිමිපාණන් වහන්සේ විසින් දෙවිනුවර සිරි ධම්මරතන නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්කරනු ලැබීය. ප්‍රවෘජ්‍යා භූමියට පත් වූ දඹගස්ආරේ සුමේධංකර හිමියෝ තමන්වහන්සේගේ ආචාර්යන් වහන්සේ වෙතින් උගතමනා බණ දහම් උගෙන දොඩන්දූවේ ශෛලබිම්බාරාමාධිපති හා සරස්වති මණ්ඩප පරිවෙණාධිපති අලුත්ගම ශ්‍රී ශීලක්ඛන්ධ මහා නාහිමියන් වෙතින් ශබ්ද ශාස්ත්‍ර ධර්ම විනයාදිය ප්‍රගුණ කළහ. විසි වයස් සපිරුණු දඹගස්ආරේ සුමේධංකර හිමියෝ 1913 දී උපසම්පදාව ලැබූහ.

නැගෙනහිර පළාතේ බෞද්ධ කටයුතු ඉටුකිරීමේ පුරෝගාමියා බවට පත් වූ සුමේධංකර හිමියෝ නැගෙනහිර බෞද්ධ කටයුතු සඳහාත් බෞද්ධ වෙහෙර විහාරාරාම ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් සූදානම් වූහ. මේ කාලයෙහි ශත වර්ෂ ගණනාවක් මහ වනය ගිලගෙන තිබූ ඓතිහාසික සේරුවිල පුදබිම දඹගස්ආරේ සුමේධංකර හිමියන් විසින් සොයාගනු ලැබීය. මහා ස්ථූපයකින් හා සියලු විහාරාංගණයකින්ම සමලංකෘතව ගොඩනැංවී ය.

ගොවිජනපද ඇතිකිරීමටත්, වැව්, ඇල වේලි, පාලම් ඉදිකරවීමටත්, පාසල් රෝහල් ආරාම ඉදිකරවීමටත්, කොලණි වැසියන්ගේ දුක් අඳෙීනා රජයට හඬ ගැන්වීමටත්, සේරුවිල පාර්ලිමේන්තු ආසනයක් ලෙස වෙන්කර ගැනීමටත් නාහිමියෝ ක්‍රියාශීලී වූහ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර අපමණ ගෞරවාදරයට පාත්‍ර වෙමින් වැඩ විසූ ශ්‍රී සුමේධංකර නා හිමියෝ නැගෙනහිර ප්‍රදේශයේ විහාරස්ථාන එකොළහක නායකත්වය දැරූහ. දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමියෝ දැන උගත් ශික්ෂාකාමී සිසු පරපුරක් ඇති කරන්නට ද කටයුතු කළහ.

1979 දී ඓතිහාසික සේරුවිල පුදබිම පූජා නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට රාජානුග්‍රහය ලබාගෙන පහසුකම් රැසක් සේරුවිලට ලබාගැනීමට හැකිවුණු අතර, 1984 දී ත්‍රස්තවාදී ගැටුම් උග්‍රවීමත් සමඟ පූජා නගර සංවර්ධන කටයුතු අතරමග නතර කිරීමට සිදුවිය.

නිකිණි පෙරහරේ නිර්මාතෘවරයා වන දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර මහ නාහිමියන්ට කෘතවේදීත්වය පළ කිරීම සඳහා ශතාධික මහා සංඝයා විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක් සිදුකොට ගුණානුස්මරණ පින්කමක් පැවැත්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *