තේ වගාවට රජයෙන් රැකවරණයක්: ස්වභාවික විපත් සහ රෝග පීඩාවලට නව රක්ෂණාවරණයක්

ස්වභාවික විපත් සහ අනෙකුත් අනපේක්ෂිත අවදානම් තත්ත්වයන්ගෙන් සිදුවන හානි ආවරණය කරමින්, තේ වගාවන් සඳහා අක්කරයකට රුපියල් මිලියනයක් (රුපියල් ලක්ෂ 10ක්) දක්වා සහ තේ පැළ තවාන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන එම මණ්ඩලය පෙන්වා දෙන්නේ, තේ වගාකරුවන් මූල්‍යමය පාඩු ලැබීමෙන් ආරක්ෂා කිරීම සහ මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය දිරිගැන්වීම මෙම නව වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවයි.

ගංවතුර, නියඟය, නායයෑම් ඇතුළු පාලනය කළ නොහැකි ස්වභාවික ආපදා මෙන්ම පාලනය කළ නොහැකි වසංගත රෝග සහ පළිබෝධ හානි හේතුවෙන් තේ වගාවට සිදුවන හානි මෙම රක්ෂණ ක්‍රමය මඟින් ආවරණය කරනු ලබයි.

රක්ෂණය ලබාගැනීමේ සුදුසුකම් සහ ප්‍රතිලාභ

තේ පර්යේෂණ ආයතනය (TRI) විසින් නිර්දේශිත ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යනු ලබන, තේ කුඩා වතු සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති සියලුම තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා මෙම රක්ෂණාවරණය ලබාගත හැකිය.

  • තේ පැළ තවාන් සඳහා: එක් තේ පැළයක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 35ක රක්ෂිත මුදලක් හිමිවේ.

  • තේ වගාවන් සඳහා: නව තේ පැළ ක්ෂේත්‍රයේ සිටුවීමේ සිට අස්වනු නෙළීම ආරම්භ වන තෙක් උපරිම වසර හතරක (04) කාලසීමාවක් ආවරණය වන පරිදි අක්කරයකට රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයක් හිමිවේ.

  • වාර්ෂික වාරිකය: තේ තවාන් සහ වගාවන් යන දෙඅංශය සඳහාම වාර්ෂික රක්ෂණ වාරිකය ලෙස නියම කර ඇත්තේ අදාළ රක්ෂිත මුදලින් සියයට 6ක (6%) ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකාවට ප්‍රමුඛ විදේශ විනිමයක් උපයා දෙන ප්‍රධාන වැවිලි බෝගයක් වන තේ කර්මාන්තය සුරක්ෂිත කිරීම සහ තේ ගොවීන් මුහුණ දෙන අවදානම් කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙම රක්ෂණ ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලවලින් හෝ 1918 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *