LK reports news sinhala

තුන්කල් දුටු සිංගප්පූරුවේ නිර්මාතෘවරයා

සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා  අපූරු පුද්ගලයෙකි. එමෙන්ම ඔහු විසින් ගොඩනගන ලද සිංගප්පූරුවද අපූර්ව රටකි. තමා සිංගප්පූරුව ගොඩනැගීම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී කර්තව්‍යය ලී ක්වාන් යූ විසින් රචිත “සිංගප්පූරු කථාව“ නමැති කෘතියේ මනාව සඳහන් කර ඇත.

ලී ක්වාන් යූ විසින් රචිත කෘතියේ සිංහල පරිවර්තනය රංජිත් ගුණරත්නයන්ගේය. එම කෘතිය පරිවර්තනය කිරීම වෙනුවෙන් ලී ක්වාන් යූ මහතා පෙරවදනක් නිකුත් කර තිබිණි. එහි මෙසේ සඳහන් වේ.

”ශ්‍රී ලාංකිකයින් හට මෙම සිංහල පරිවර්තනය පැහැදිළි කරදෙන කරුණක් වන්නේ, විශේෂයෙන්ම දේශපාලන නායකයන් ඡන්ද දිනා ගැනීමේ අරමුණින් ජාති, භාෂා, සංස්කෘතික සහ ආගමික බලවේග නො ඇමතිම හේතු කරගෙන අප යටපත් කර ගැනීමට පාදක විය හැකි ව තුබූ බොහෝ අනවශ්‍ය වේදනාත්මක අත්දැකීම්වලින් බැහැර වීමට සිංගප්පූරුවට හැකි වූ අකාරය යි. යම් අවස්ථාවක උද්වේගකර හැඟීම් ඉස්මතු වූයේ නම් තර්ක ඥානය සහ පොදු හැඟීම් කවුළුවෙන් පිටතට ඇදී යනු නියත ය. මගේ පරම්පරාවේ සිංගප්පූරු ජනතාව වටහා ගත්තේ මේ සත්‍යතාව යි.”

සිංගප්පූරුව ජාතීන් අතර එකමුතුව සඳහා බොහෝ ප්‍රායෝගික පියවර ගෙන තිබේ. මේ අනුව රජය මඟින් ගොඩනංවන මහල් නිවාසවල කිසි ම අවස්ථාවක මැලේ, චීන හෝ දමිල එක් ජාතියකට පමණක් ජීවත් වීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත. අවම වශයෙන් එක් ජාතියකට එක් මහලක පමණක් නිවාස පහසුකම් ලබා දුන්නේද නැත. මේ නිසා එරට සහජීවනය යහමින් පවත්වාගෙන යාමට හැකි ය. එතුමා තම බලය ස්ථාපනය කර ගත් පසු 1960 දී ගන්නා ලද වැදගත් පියවරක් වන්නේ දූෂණය මර්දනය කිරීම පිණිස පාර්ලිමේන්තුවට වැඩි බලයක් ගෙන දෙන පනතක් සම්මත කිරීම ය. සිංගප්පූරුව සුද්ධ කිරීම පිණිස දූෂණ කටයුතු විමර්ශනය කිරීමට බියුරෝවක් ද ආරම්භ කෙරිණි.

පසු කාලයේ තමන් ගේ ඉතා කිට්ටුවන්තයෙක් විසින් කරන ලදැයි කියන මුදල් අවභාවිතා කිරීමක් වෙනුවෙන් වූ පරීක්ෂණ සඳහා ලී ක්වාන් යූ මැතිතුමා යොදා ගනු ලැබුවේ එම පනතේ විධිවිධාන යි. ලී ක්වාන් යූ ගෙන් කිසිදු සහනයක් නොලැබෙන බව දත් එතුමා ගේ හිතවතා අත්අඩංගුවට පත්වීමට පෙර සිය දිවි නසා ගත්තේ ය. ඒ ලී ක්වාන් යු ගේ පිළිවෙතයි. වරදක් වෙනුවෙන් තමන් ගේ කෙනකුට හෝ සමාවක් නැත. ගැලවීමක් නැත. මේ නිසා, කිසිවෙක් හෝ වරදක් කරන්නට සිතන්නේවත් නැත.

හැට දශකයේ සිංගප්පූරුව මැලේසියාවට අනුබද්ධව පැවතිණි. එවකට මැලේසියාව හා සිංගප්පූරුව අතර පැන නැගුණු විවිධ ගැටලූ අතර චීන-මැලේ ගැටුම් දේශපාලනික වුවමනා වෙනුවෙන් කළ ආයෝජනයක් බව ලී ක්වාන් යූ කල්පනා කෙළේ ය. එසේ ම මැලේසියාවක් තුළ එක් ජාතියක් පමණක් වැඩි බලයක් ලබා ගැනීම ඔහු පිළිකෙව් කළ අතර සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වී තනි රටක් වශයෙන් ඉදිරියට යෑමේ අවශ්‍යතාව ගැන එතුමා කල්පනා කෙළේ ජාතිවාදය රජ කරවන මැලේසියාවකට තිබූ අකැමැත්ත නිසා ය.

”අප මිනිසුන්ට කථා කොට නුඹලා ගේ දුප්පත්කමට හේතුව මැලේ ජාතිකයන්ට හිමි වරප්‍රසාද අහිමි වීම හා විරුද්ධ පක්ෂ මැලේ ජාතික විශේෂ වරප්‍රසාද පිළි නොගැනීම යැයි එත්තු ගන්වන්නේ නම්, එහි අවසානය කුමක්ද? අප මැලේ භාෂාව කතා නොකරන නිසාත්, රජය මැලේ භාෂාවෙන් ලියකියවිලි සකස් නොකර නිසාත්, නුඹලා දුප්පත් වී ඇති බවට විශ්වාසයක් ගම්බද මිනිසුන්ට ඒත්තු ගැන්වීමෙන් 1967 වන විට ප්‍රාතිහාර්යයක් සිදුවනු බව ඔවුන් විශ්වාස කරනු ඇත. මේ අනුව 1967 වන විට මැලේ භාෂාව රාජ්‍ය භාෂාව වී අප සියලූ දෙනා එකම භාෂාව කථා කරන්නට පටන් ගත් පසු මිනිසුන්ගේ ජීවන මට්ටම උසස් වීම නියත යි. එසේ නොවුණොත් කුමක් සිදුවේ ද?” ඒ ලී ක්වාන් යූ භාෂා ගැටලුවක් මුල් කරගනිමින් එරට පාර්ලිමේන්තුවේදී සිදුකළ කථාවකි.

ලී ක්වාන් යූ මැතිතුමා ගේ එම තර්කය බිඳිය නොහැකි වූව ද, විශේෂ වරප්‍රසාද පනත හා භාෂා පනත සම්මත විය. සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන්වීම 1965 දී සිදු විය. එතැන් පටන් ජාතී, ආගම් හා භාෂා බේදයකින් තොරව කටයුතු කිරීමට සිංගප්පූරු නායකයන්ට හැකි වීම නිසා, 1950 දශකයේ අපිරිසුදු මඩගොහොරු හා පැල්පත්වලින් සමන්විතව තිබූ සිංගප්පූරුවට, එක් පරම්පරාවකින් ම තුන්වැනි ලෝකයෙන් පිටමන්ව පළමු ලෝකයේ රටක් වශයෙන් නැවත ඉපදෙන්නට හැකියාව ලැබිණි. මේ සිහිනය යථාර්ථයක් කෙළේ ලී ක්වාන් යූ නමැති තුන් කල් දත් කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයා විසිනි.

(මූලාශ්‍ර – රංජිත් ගුණරත්නයන්ගේ “සිංගප්පූරු කථාව“ කෘතියෙනි)

Leave a Reply

Your email address will not be published.