ශ්‍රී ලංකාවේ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) පවතින අඩුපාඩු විසඳීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත ගැසට් කර පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” ලෙස නම් කර ඇති මෙම යෝජිත නීතිය මගින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ හඳුනාගෙන ඇති අඩුපාඩු ආමන්ත්‍රණය කරමින් නව නීතිමය රාමුවක් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.
දැනට පවතින නීතියේ අඩුපාඩු සම්බන්ධයෙන් සලකා බලා මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා මීට පෙර තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර තිබුණි.
එම මූලික කෙටුම්පත පදනම් කර ගනිමින් නව නීතිය හඳුන්වාදීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය 2026 අගෝස්තු 10 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ලබාදී තිබේ.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ පනත් කෙටුම්පත සඳහා මේ වනවිට නීතිපතිවරයාගේ අනුමැතියද ලැබී ඇති බව රජය පවසයි.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


