වැළිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවයක් ආරම්භකරනු ලැබුවේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස්කිරීමේ සුදානමක් ඇති බවට ලද තොරතුරු මත බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසයි.
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කළේය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මහතා ප්‍රකාශ කළේ, දේශපාලන සිරකරුවන් නිදහස්කිරීම වෙනුවට දීර්ඝ කාලයක් සිරගත කර සිටින සාමාන්‍ය සිරකරුවන් නිදහස්කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවය.
මේ අතර ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයේ දී රැඳවියන් බියගැන්වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට නියමිත බන්ධනාගාර නිලධාරින්ට බලපෑම් එල්ල වන බවට සැක මතුවන බව සමගි ජනබලවේගය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පෙන්වාදෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ලබාදෙන සාක්ෂි පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවය.