තලවතුගොඩ රජයේ ඉඩමක් සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්නට චෝදනාවක්

තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදුකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳට ලබාදීමේ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් විය.

දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිකාරියක වන අනිෂ්කා රංජීවි ද සිල්වා පෙත්සම ඉදිරිපත් කළාය.

එහි වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳවන මොරින් රණතුංග, නීතිපති ඇතුළු 18 දෙනෙකු නම්කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තලවතුගොඩ, පෙරේරා මාවතේ පිහිටි කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයෙන් නිවසක් මිලදී ගත් බවයි.

එම නිවාස සංකීර්ණයට යාබදව ඇල මාර්ගයක් තිබෙන අතර ඊට යාබදව රජයට අයත් වගුරු බිමක් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙයි.

පසුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටියදී මෙම ඉඩම නීතිවිරෝධී ආකාරයෙන් ගොඩ කිරීමට පියවර ගෙන ඇති බව පෙත්සමේ සඳහන් වෙයි.

ඉන්පසුව එම ඉඩම තුල අනවසර ආකාරයෙන් ඉදි කිරීමක් සිදු කිරීමට කටයුතු කරන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පතිවරයා, කඩුවෙල නගර සභාව ඇතුළු ආයතන වලට පැමිණිලි කළත් ඉන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව පවසන පෙත්සම්කාරිය තමන්ට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පළායාමට සිදු වූ බවත් සඳහන් කළාය.

මෙම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් වැසි ජලය බැසීයාමේ අවහිරතා මතුවි ඩෙංගු උවදුර ව්‍යාප්ත වන තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් පෙත්සම්කාරිය චෝදනා කරයි.

කරුණු සොයා බැලීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳට ලබාදීමට කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඇය පෙන්වා දෙන්නීය.

ඒ අනුව අදාළ ඉඩම පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *