ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ධවල මන්දිරයේ නැගෙනහිර කොටස කඩා ඉවත් කළ ස්ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ඩොලර් මිලියන 400ක බෝල්රූම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් නවත්වන ලෙස එක්සත් ජනපද ෆෙඩරල් අභියාචනාධිකරණයක් සිකුරාදා නියෝග කළේය.
මෙය ජනාධිපති බලතල සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකදී ට්‍රම්ප් පරිපාලනයට ලැබුණු ප්‍රධාන පසුබෑමක් ලෙස සැලකේ.
වොෂින්ටන්හි එක්සත් ජනපද කොලොම්බියා දිස්ත්‍රික් අභියාචනාධිකරණය 2-1 තීන්දුවක් ලබා දෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයා ධවල මන්දිරයේ “තාවකාලික පදිංචිකරුවෙකු මිස එහි හිමිකරුවෙකු නොවන” බැවින් කොංග්‍රසයේ අනුමැතියකින් තොරව එහි ව්‍යුහයට මූලික වෙනස්කම් සිදුකළ නොහැකි බවයි.
ඓතිහාසික සංරක්ෂණය සඳහා වන National Trust for Historic Preservation සංවිධානය විසින් ගොනු කළ නඩුවකදී ලබාගත් මූලික තහනම් නියෝගය අභියාචනාධිකරණය මෙලෙස තහවුරු කළේය. ධවල මන්දිරයේ නැගෙනහිර කොටස කඩා ඉවත් කර වර්ග අඩි 90,000ක පමණ බෝල්රූම් ශාලාවක් ඉදිකිරීම කොංග්‍රස් අනුමැතියකින් තොරව ආරම්භ කිරීමෙන් පසු එම සංවිධානය නඩු පවරා තිබුණි.
“විශාල බෝල්රූම් ශාලාවක් ඉදිකළ යුතුද යන්න තීරණය කළ යුත්තේ කොංග්‍රසය විසිනි. එය විධායකයේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයකින් තීරණය කළ හැකි කරුණක් නොවේ,” යනුවෙන් බහුතර විනිසුරුවන් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනයට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා අභියාචනාධිකරණය සිය නියෝගය දින 14කට අත්හිටුවා තිබේ.
ට්‍රම්ප් සිකුරාදා Truth Social ඔස්සේ ව්‍යාපෘතිය “හමුදා මධ්‍යස්ථානයක්” ලෙසද හඳුන්වා ඇති අතර, තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කරන බව පැවසීය. ඔහු අධිකරණ තීන්දුව “භයානක” සහ දේශපාලනිකව මෙහෙයවන ලද්දක් ලෙස විවේචනය කරමින්, එමගින් තමන්, ධවල මන්දිර නිලධාරීන් සහ එහි පැමිණෙන පුද්ගලයන් ප්‍රහාරවලට නිරාවරණය වන බව ප්‍රකාශ කළේය.
බෝල්රූම් සැලසුමට බෝම්බ ආරක්ෂිත නවාතැන්, වෛද්‍ය පහසුකම්, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂාව ඇතුළු ආරක්ෂක පහසුකම් රැසක් ඇතුළත් බවද ට්‍රම්ප් සඳහන් කර තිබේ.
මේ අතර, National Trust for Historic Preservation හි සභාපති Brent Leggs කියා සිටියේ මෙම තීන්දුව ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කිරීමට ඇමෙරිකානු ජනතාවට ඇති අයිතිය වෙනුවෙන් වැදගත් ජයග්‍රහණයක් බවයි.
මීට පෙර එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු Richard Leon ද එම ස්ථානයේ භූගත ඉදිකිරීම් සඳහා අවසර දෙමින්, මතුපිට ඉදිකිරීම් අවස්ථා දෙකකදී තහනම් කර තිබුණි. Leon හිටපු රිපබ්ලිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් පත් කළ විනිසුරුවරයෙකි.
නඩුව විභාග කළ අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවන් වන Patricia Millett සහ Brad Garcia ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් විසින් පත් කරන ලද අය වෙති. ඔවුන් අවධාරණය කළේ බෝල්රූම් ශාලාවක් කිසිදා ඉදිකළ නොහැකි බවට තීන්දුවක් ලබාදී නොමැති බවත්, නඩුව විභාග වන අතරතුර සහ ධවල මන්දිරයට කොංග්‍රස් අනුමැතිය ලැබෙන තුරු මතුපිට ඉදිකිරීම් පමණක් අත්හිටුවා ඇති බවත්ය.
ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු “නීතියෙන් නිදහස් වීමට ස්වයංක්‍රීය අවසර පත්‍රයක් නොවන” බවද විනිසුරුවරු සඳහන් කළහ.
කෙසේ වෙතත්, ට්‍රම්ප් විසින් පත් කරන ලද විනිසුරු Neomi Rao ඊට විරුද්ධ වෙමින් කියා සිටියේ ව්‍යාපෘතියට බාධා කිරීම ෆෙඩරල් අධිකරණයේ බල සීමාව ඉක්මවා යාමක් බවත්, ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදු කිරීමට ඉඩ දිය යුතු බවත්ය.
මේ අතර, බෝල්රූම් ව්‍යාපෘතියේ වියදම මුල් ඇස්තමේන්තුව මෙන් දෙගුණයක් දක්වා ඉහළ යාමද මතභේදයට තුඩුදී තිබේ. ට්‍රම්ප් පවසා ඇත්තේ එය මුල් සැලසුමට වඩා දෙගුණයක පමණ විශාලත්වයකින් සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ඉදිකිරීමට සැලසුම් කර ඇති බැවින් වියදම ඉහළ ගිය බවයි.


