ශ්‍රී ලංකාවේ මෝරුන් ඇල්ලීමේ කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තිරසර ලෙස කළමනාකරණය කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
තිරසර මෝරුන් ඇල්ලීමේ කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පැවැත්වී ඇති අතර, එය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කොළිත කමල් ජිනදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්තමහත්මයා ඇතුළු නිලධාරීහු ඊට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා මගින් මෝරුන් ප්‍රධාන වශයෙන් අතුරු අල්ලාගැනීම් (by-catch) ලෙස අල්ලා ගන්නා බව නිලධාරීහු පෙන්වා දුන්හ.
නීත්‍යනුකූලව අවසර ලබාදී ඇති මෝර නිෂ්පාදන වන වරල්, කරමල්, හකු සහ සම ඇතුළු නිෂ්පාදන මෙන්ම ඇතැම් සජීවී විසිතුරු මෝරුන් විශේෂ අපනයනය කිරීම මගින් රටට විදේශ විනිමය ආදායමක් ද ලැබෙන බව ඔවුහු සඳහන් කළහ.
කෙසේ වෙතත්, මෝරුන් විශේෂ කිහිපයක් ලොව පුරා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති හෝ අවදානමට ලක්ව ඇති විශේෂ ලෙස සැලකෙන බැවින්, ජාත්‍යන්තර සංරක්ෂණ හා ධීවර ප්‍රමිතීන්ට අනුකූලව මෙම කර්මාන්තය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව නිලධාරීහු අවධාරණය කළහ.
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අල්ලා ගැනීම තහනම් කර ඇති මෝරුන් විශේෂ ආරක්ෂා කිරීම සඳහා රජය දැනටමත් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, නීත්‍යනුකූලව අවසර ලබා ඇති මෝරුන් විශේෂ සහ නිෂ්පාදන පමණක් අපනයනය කිරීමට අවසර ලබාදී තිබේ.
නව වැඩසටහනේ අරමුණ වන්නේ මෝරුන් සම්පත තිරසර ලෙස භාවිත කිරීම සහ සංරක්ෂණය කිරීම සහතික කිරීම සඳහා නිරීක්ෂණ, කළමනාකරණ සහ නියාමන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමයි.


