යාපනය ප්රදේශයේ හින්දු දේවාලයක පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු අක්ෂි වේදනාව සහ වෙනත් අක්ෂි ආබාධ ඇති වූ පුද්ගලයින් අවම වශයෙන් 157 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලෙන් ප්රතිකාර ලබාගෙන තිබේ. ඔවුන් අතර ළමුන් 55 දෙනෙකුද සිටින බව වාර්තා වේ.
ජාෆ්නා මොනිටර් වාර්තාවට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය උත්සවයේදී භාවිත කළ අධි බලැති විදුලි ලාම්පු කිහිපයක් සිය භාරයට ගෙන තිබේ.
යාපනය පිරන්පත්රු ප්රදේශයේ මුරුගන් දේවාලයක පැවති උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති අතර, දේවාල පරිශ්රය වටා අධි බලැති විදුලි ලාම්පු සවිකර තිබූ බව සඳහන් වේ.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය ටී. සත්යමූර්ති මහතා පැවසුවේ ප්රතිකාර ලබාගත් පිරිසට පිරිමි පුද්ගලයින් 58 දෙනෙකු, කාන්තාවන් 44 දෙනෙකු සහ ළමුන් 55 දෙනෙකු ඇතුළත් වූ බවයි.
ඔවුන් අක්ෂි වේදනාව, දැවිල්ල සහ ඇස් විවෘත කිරීමට අපහසු වීම ඇතුළු රෝග ලක්ෂණ පිළිබඳව පැමිණිලි කර තිබේ.
බ්රහස්පතින්දා අදාළ දේවාලයට ගිය සියලු දෙනාට අක්ෂි පරීක්ෂාවක් සඳහා යාපනය ශික්ෂණ රෝහලට පැමිණෙන ලෙස යාපනය දිස්ත්රික් ලේකම්වරයා සහ සන්දිලිපායි ප්රාදේශීය ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත.
මේ අතර, දේවාලයේ සවිකර තිබූ චීනයේ නිෂ්පාදිත අධි බලැති ලාම්පු කිහිපයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තාක්ෂණික පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
එම ලාම්පුවල විදුලි පිරිවිතර, ආලෝක තීව්රතාව, භාවිතය සඳහා නිර්දේශිත කාර්යය සහ ඒවා මහජනතාව සිටින ස්ථානවල භාවිත කිරීමට අනුමත කර තිබේද යන්න පිළිබඳවද පරීක්ෂණ සිදුකෙරේ.
කෙසේ වෙතත්, අක්ෂි ආබාධවලට මෙම ලාම්පු හේතු වූ බව මෙතෙක් පොලිසිය විසින් තහවුරු කර නොමැත.
වෛද්යවරුන් පවසන්නේ වාර්තා වී ඇති රෝග ලක්ෂණ අනුව, අධික පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් ඇසේ මතුපිටට සිදුවන ෆොටෝකෙරටයිටිස් (Photokeratitis) නම් තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.


