ජපානයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන් සඳහා අය කෙරෙන ගාස්තුව යෙන් 200,000ක් දක්වා ඉහළ නංවා තිබේ. එය මෙතෙක් පැවති ගාස්තුව මෙන් 20 ගුණයක වැඩිවීමකි.
ස්ථිර පදිංචිය සඳහා අයදුම්කරුවන්ට නව ආදායම්, විශ්‍රාම වැටුප් සහ ජපන් භාෂා දැනුම සම්බන්ධ අවශ්‍යතා කිහිපයක්ද සපුරාලීමට සිදුවනු ඇත.
ගාස්තු ඉහළ නැංවීමට පෙර අයදුම් කිරීමට විශාල පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් මෙම සතිය මුලදී ජපානයේ ආගමන කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, ටෝකියෝහි ප්‍රධාන ආගමන කාර්යාංශයේ රැඳී සිටීමේ කාලය පැය හතකට වැඩි වී තිබිණි.
අග්‍රාමාත්‍ය සනේ තකායිචිගේ රජය යටතේ ජපානයේ සංක්‍රමණික ප්‍රතිපත්තියට සිදුකරන වෙනස්කම් මාලාවක කොටසක් ලෙස මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකර තිබේ. ජපානයේ වේගයෙන් ඉහළ යන විදේශික ජනගහනය කළමනාකරණය කිරීම එහි අරමුණ වී තිබේ.
ජපානය ජූලි මාසයේදී සියලුම විදේශිකයන් සඳහා වීසා ගාස්තු පස් ගුණයකින් ඉහළ නැංවූ අතර, එය වසර 50කට පසු එරට සිදුකළ පළමු වීසා ගාස්තු වැඩිවීම විය. බලධාරීන් පැවසුවේ උද්ධමනය සහ විනිමය අනුපාතවල වෙනස්කම් සැලකිල්ලට ගැනීම සඳහා එම පියවර ගත් බවයි.
ජපානයේ සංක්‍රමණය තවමත් දේශපාලනික වශයෙන් සංවේදී සහ සීමාකාරී කරුණක් වුවද, ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා වයස්ගත වෙමින් පවතින එරට ජනගහනය වැඩි වශයෙන් විදේශීය ශ්‍රමිකයන් මත රඳා පවතී.
2025 වසර අවසානය වන විට ජපානයේ විදේශික පදිංචිකරුවන් සංඛ්‍යාව මිලියන 4.12 ඉක්මවා ගොස් ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 9.5%ක වාර්තාගත ඉහළ යාමකි. කෙසේ වෙතත්, විදේශික ජනගහනය ඉහළ යාමත් සමඟ සංක්‍රමණය සහ සමාජ වෙනස්කම් පිළිබඳ ජනතාව අතර කනස්සල්ලද වැඩිවී තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ධුරයට පත්වූ දා සිට අග්‍රාමාත්‍ය තකායිචිගේ ප්‍රධාන ප්‍රමුඛතාවක් වී ඇත්තේ සංක්‍රමණය කළමනාකරණය කිරීමයි.
පදිංචි බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට දින කිහිපයකට පෙර X සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ තකායිචි මහත්මිය සඳහන් කළේ ජපානයේ විදේශික පදිංචිකරුවන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඇතැම් ජනතාවට කනස්සල්ලක් හෝ අසාධාරණත්වයක් පිළිබඳ හැඟීමක් ඇති විය හැකි බව රජය පිළිගන්නා බවයි.
එම ගැටලු විසඳීම සඳහා විදේශිකයන් සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් ජපාන පුරවැසියන්ට සහ විදේශික පදිංචිකරුවන්ට ආරක්ෂිතව ජීවත්විය හැකි පරිසරයක් සහතික කිරීමට රජය කටයුතු කරන බවද ඇය සඳහන් කර තිබිණි.
මීට පෙර ජපානයේ ස්ථිර පදිංචිය නොමැති විදේශිකයෙකුට තම පදිංචි තත්ත්වය වෙනස් කිරීමට හෝ පදිංචි කාලය දීර්ඝ කිරීමට එක් වරක් අයදුම් කිරීම සඳහා යෙන් 6,000ක ගාස්තුවක් අය කෙරිණි.
ඔක්තෝබර් 1 වැනිදා සිට එම ගාස්තුව ඉල්ලා සිටින පදිංචි කාලය අනුව වෙනස් වන අතර, මාස තුනක් හෝ ඊට අඩු කාලයක් සඳහා යෙන් 10,000 සිට වසර පහක් හෝ ඊට වැඩි කාලයක් සඳහා යෙන් 75,000 දක්වා එය ඉහළ යනු ඇත.
මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන අයදුම්කරුවන්ට සහ සරණාගතයන් ලෙස නම් කර ඇති පුද්ගලයන්ට ගාස්තු සහන ලබාදීමට නියමිතය.
ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන්ට දැන් ජපානයේ සාමාන්‍ය ආදායම් මට්ටමට සමාන හෝ ඊට වැඩි ස්ථාවර ආදායමක් තිබීමද අවශ්‍ය වේ. ජූලි මාසයේ නිකුත් කළ නවතම දත්ත අනුව 2024 වසරේ සාමාන්‍ය පවුල් ආදායම යෙන් මිලියන 5.75කි.
ටෝකියෝ නුවර වසර 10ක් ජීවත් වෙමින් සහ රැකියාවක නිරතව සිටින 37 හැවිරිදි මයිකියා මයිකෙලා-ස්පෙන්ස්ට ගාස්තු ඉහළ නැංවීමට පෙර ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සියලු ලේඛන සකස් කර ගැනීමට නොහැකි වී තිබේ.
කෙසේ වෙතත්, ඔහු තවදුරටත් අයදුම් කිරීමට බලාපොරොත්තු වන අතර, විදේශික පදිංචිකරුවන් ඉලක්ක කරගත් නව ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශ්න කරයි.
“මගේ පළමු හැඟීම වුණේ විදේශිකයන්ට තරමක් පහසු ලෙස සලකනවා වගේ කියන එකයි. ජපානයේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි ආදායමක් උපයන්නත්, සැලකිය යුතු ඉහළ ගාස්තුවක් ගෙවන්නත් අපෙන් ඉල්ලා සිටිනවා. ඒ සියල්ල ජපානයේ වැඩ කර බදු ගෙවීමට හැකි වීම සඳහායි,” යනුවෙන් ඔහු BBC වෙත පැවසීය.
“විදේශීය දක්ෂයන්ට මෙරටට පැමිණීමට දැනටමත් සැලකිය යුතු භාෂාමය සහ සංස්කෘතික බාධාවක් තිබෙනවා. මෙය දිගුකාලීනව හොඳින් සැලසුම් කළ වැඩපිළිවෙළක් ලෙස මට පෙනෙන්නේ නැහැ,” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ස්ථිර පදිංචිය සඳහා අයදුම්කරුවන්ට මූලික ජපන් භාෂා දැනුම ඇතුළු තවත් දැඩි අවශ්‍යතා සපුරාලීමට සිදුවනු ඇත.
එම තත්ත්වය හේතුවෙන් ජපන් භාෂා පාසල්වලට ඇතුළත් වන පිරිස මෙන්ම ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයට පෙනී සිටීමට ලියාපදිංචි වන පිරිසද ඉහළ ගොස් ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ.
අයදුම්කරුවන්ට අනාගතයේදී හිමිවීමට අපේක්ෂිත විශ්‍රාම වැටුප් ප්‍රතිලාභද වසර 30ක් සේවක විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වූ පුද්ගලයෙකුට හිමිවන ප්‍රතිලාභයට සමාන විය යුතුය.
කෙසේ වෙතත්, අපේක්ෂිත විශ්‍රාම වැටුප් ප්රතිලාභ එම මට්ටමට වඩා අඩු නම්, අයදුම්කරු සතු මූල්‍ය වත්කම්වල වටිනාකමද සලකා බැලීමට හැකි වනු ඇත.


