මධ්‍යම පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී මයිකල් එක්කුලස් ද සිල්වා (66) වගා බිමක් ආරක්ෂා කර ගැනීමට එළවා තිබූ විදුලි රැහැනක් පෑගීමෙන් විදුලි සැර වැදී මිය ගියේය.
ඔහු නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ජාතික ජන බලවේගයේ කණ්ඩායමේ නායකයා ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභාවට පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා ලබාදී තිබුණා. ඔහු දේශපාලනයට පැමිණීමට පෙර රජයේ පාසලක විදුහල්පතිවරයකු ලෙස කටයුතු කර ඇත. ඔහු තම බිරිඳගෙන් වෙන්වීමෙන් පසු එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර ඔහුගේ පුත්‍රයා විදේශ ගතවී ඇත.
අනතුරට හේතු වූ සජීවී වයරය ප්‍රධාන ස්විචයට සෘජුවම සම්බන්ධ කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ගොවිපළේ සේවකයකුගෙන් ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිසිය මළ සිරුර ගොඩගෙන ඇත.
පොලිසිය පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ සිරුර සෙනසුරාදා (02) සවස ගොඩ ගත් බව ය.
ඊයේ පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත මහත්මිය මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී නුවරඑළිය මහ රෝහල වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කළාය.
නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.