චන්දිමාල්ගේ සාදයට සහභාගී වූ 13 දෙනාට ඇප

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කර තිබු සාදයකට සහභාගී වී තිබූ 13දෙනෙකු ව ඇප මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා නියෝග කර තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වීම සම්බන්ධයෙන් ඔවුන්ව අද සහ ඊයේ දිනයන්හි දී අත්අඩංගුවට ගැනුණි.

සැකකරුවන් බන්ධනාගාරය මාර්ගයෙන් නිරෝධායනය සඳහා යොමු කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම ඉවත දැමු අධිකරණය එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 11 දෙනෙකු සහ සැකකාරියන් 02 කු අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරුවන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඉකුත් 30 වනදා කොළඹ හෝටල් කාමරයක් තුළ උපන්දින සාදයක් පවත්වා ඇති බව චෝදනා කළේය.

ඒ අනුව පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වනදා කැඳවීමට ද නියෝග කර තිබේ.

මේ අතර ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 13දෙනා නිරෝධායන සඳහා යොමුකළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසිය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පැමිණ කරුණු පැහැදිලි කර දී අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරුවන් පොලිස් බස් රථයකින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට රැගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *