ගුවන් යානය කඩා වැටීම වළක්වා මගීන් බේරාගත් ඉන්දීය ගුවන් නියමුවා ‘වීරයෙක්’ – ඊශ්‍රායල සහ ඉන්දීය නායකයන්

බදාදා ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයක් කඩා වැටීමට උත්සාහ කළ බව කියන සිද්ධියකදී තම සහායක නියමුවාගේ පිහි ඇනුමකට ලක්ව සිටියද මගීන් බේරා ගැනීමට කටයුතු කළ ඉන්දීය ගුවන් නියමු ස්මිත් මච්චාර් ඊශ්‍රායල සහ ඉන්දීය නායකයන් විසින් “වීරයෙකු” ලෙස හඳුන්වා තිබේ.

ඊශ්‍රායල බලධාරීන් පැවසුවේ ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සහායක නියමුවාගේ ගුවන් යානය කඩා දැමීමට කළ බව කියන උත්සාහය ව්‍යර්ථ කිරීමෙන් පසු මගීන් සියලුදෙනා ආරක්ෂිතව ගුවන් යානයෙන් පිටතට පැමිණි බවයි.

සිද්ධිය ආරම්භ වී ඇත්තේ සහායක නියමුවා ගුවන් නියමුවාට පිහියෙන් ඇනීමෙන් පසුවය. ඒ සමඟ ගුවන් යානය තත්පර 30කට අඩු කාලයකදී අඩි 14,000කට ආසන්න ප්‍රමාණයකින් පහළට ඇද වැටී තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ මච්චාර් මහතා රුධිරයෙන් වැසී ගුවන් යානයේ බිම වැටී සිටියද නියමු කුටියේ දොර විවෘත කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සමත් වූ බවයි.

ඒ අනුව මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව සහායක නියමුවා පාලනය කර ඇති අතර, ගුවන් යානයේ සිටි තවත් ෆ්ලයිඩුබායි ගුවන් නියමුවන් දෙදෙනෙකුට යානය පාලනය කර සෞදි අරාබියේ ටබුක් නගරයට ගොඩබැස්වීමට හැකි වී තිබේ.

“ඊශ්‍රායල පුරවැසියන් ඇතුළු රටවල් කිහිපයකට අයත් පුද්ගලයන් 174 දෙනෙකුගේ ජීවිත ඔහු බේරා ගත්තා,” යනුවෙන් නෙතන්යාහු මහතා X සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේය.

මීට පෙර සිය කාර්යාලය නිකුත් කළ වීඩියෝ ප්‍රකාශයකදී ඔහු සඳහන් කර තිබුණේ “සියලුම මගීන් අනතුරෙන් මිදී ආරක්ෂිතව සිටින” බවයි.

බ්‍රහස්පතින්දා අලුයම X ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද මච්චාර් මහතා අගය කරමින් ඔහු “වීරයෙකු” ලෙස හැඳින්වීය.

“ඉතා බරපතළ අනතුරකට මුහුණ දෙමින්, දැඩි තුවාල ලබා සිටියද, අනෙක් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔහු දැක්වූයේ අතිවිශාල ධෛර්යයක් සහ නොසැලෙන අධිෂ්ඨානයක්. ඔහුගේ නිර්භීතකම හේතුවෙන් ජීවිත සිය ගණනක් බේරා ගැනීමටත් විශාල ඛේදවාචකයක් වළක්වා ගැනීමටත් හැකි වුණා,” යනුවෙන් මෝදි මහතා පැවසීය.

සෞදි අරාබියේ සිටින ඉන්දීය බලධාරීන් පැවසුවේ මච්චාර් මහතා වයඹදිග සෞදි අරාබියේ ටබුක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය සියලු සහාය ලබාදීමට කටයුතු කරන බවත්ය.

මච්චාර් මහතාගේ තත්ත්වය ස්ථාවර බව සෞදි අරාබියේ ඉන්දීය තානාපති කාර්යාලය X ඔස්සේ සඳහන් කර තිබේ.

ඉන්දියාවේ මුම්බායි නගරයේ පදිංචිකරුවෙකු වන මච්චාර් මහතා සිද්ධියෙන් පසු ශල්‍යකර්මයකටද භාජනය වී ඇති බව ඉන්දීය Hindustan Times පුවත්පත වාර්තා කළේය.

ඔහුගේ LinkedIn පැතිකඩට අනුව, ෆ්ලයිඩුබායි සමඟ එක්වීමට පෙර ඔහු ඉන්දියාවේ ස්පයිස්ජෙට් ගුවන් සමාගමේ වසර 11කට වැඩි කාලයක් සේවය කර තිබේ.

නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැත. ෆ්ලයිඩුබායි සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිද්ධියට බලපෑ මූලික හේතු තවමත් අනාවරණය වී නොමැති බවයි.

එමෙන්ම පූර්ව නිගමනවලට එළඹීමෙන් වළකින ලෙසද සමාගම අනතුරු අඟවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර ඊශ්‍රායලයට සහ ඊශ්‍රායලයෙන් සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටද ෆ්ලයිඩුබායි කටයුතු කර තිබේ.

මෙම සිද්ධිය “ඉතා බරපතළ ආරක්ෂක සිදුවීමක්” ලෙස නෙතන්යාහු මහතා හැඳින්වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි FZ1073 ගුවන් යානයේ සහායක නියමුවාගෙන් සෞදි බලධාරීන් ප්‍රශ්න කිරීමට නියමිත බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *