ගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාධනීය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත්වීමෙන් පසු අදාළ වෘත්තීය සමිති සමග පළමුවරට සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.
එහිදි ගුරු-විදුහල්පති ගැටලුව පිළිබඳව ඇමති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාවලට ගුරු සංගම්වල යෝජනා ද ඇතුළත් කර ලබන සඳුදා ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ,
“දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා අධ්‍යාපන ඇමති වීමෙන් පසු ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ට කැඳවීමක් කළා සකච්ඡා කරන්න. මෙහිදී අපි විශේෂයෙන් කතා කළේ ඇමති අනුකමිටුවේ වාර්තාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ලබාදී තිබෙනවා. එතකොට මේ අමාත්‍ය මණ්ඩලය විසින් ඇමති අනුකමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ලබන සතියේ 30 වනදා තීරණයක් ගැනීමට නියමිතයි. එහිදී අනිවාර්යෙන්ම අධ්‍යාපන ඇමතිවරයා හැටියට අධ්‍යාපන ඇමතිවරයාගේ නිර්දේශ ලබාදීමේදී වෘත්තීය සමිතිවල අදහස් ලබාදෙන්න කියලා තමයි අපි දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළේ.“ යනුවෙනි.