ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන අයවැයේදී ලබාදීමට තීරණය වී තිබේ.
ඒ අනුව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ ඇත.
වසර 25කට අධික කාලයක් තිස්සේ පවතින ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩලයට විෂයභාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත් එම කැබිනට් පත්‍රිකාව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්වී ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් එළඹෙන අයවැයේදී ගන්නා බවය.
මේ සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
“ගත්ත තීන්දුව තමයි වසර අවසානයේ අයවැයත් එක්ක මේ සම්බන්ධයෙන් සහ අනෙකුත් රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධව සහ ජීවන වියදම් සම්බන්ධව ගන්නා තීන්දුවලට සමාන්තරව කිරීමට අපි අවසාන වශයෙන් තීන්දුවක් අරන් තියෙනවා. මොකද එක ප්‍රශ්නයක් විසඳන කොට තවත් ප්‍රශ්න ගණනාවක් මතු වෙන්න පුළුවන්.”
කෙසේවෙතත් තම ගැටලුව සඳහා විසදුමක් ලබානොදෙන්නේ නම් දැනට ක්‍රියාත්මක කර තිබෙන වෘත්තිය සමිති අරගලය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
“කැබිනට් නිල ප්‍රකාශයක් තාම අපිට ලබාදීලා නෑ. අද අපිට සාකච්ඡාවකට එන්න කියලා තියෙනවා ඇමති සමග. අපේ ඉල්ලීම් ලබාගන්නා තුරු අරගලය මේ රටේ යනවා. අපිට වෙන විකල්පයක් නෑ. අපිට තියෙන්නේ ගණන් ගන්නකම් ක්‍රියාමාර්ගයක් ගන්න.”
මේ අතර අධ්‍යාපන ක්ෂේත්රයේ පාසල් අධ්‍යයන, අනධ්‍යන කාර්යමණ්ඩල ඇතුළු පිරිස් රාජකාරීවලට වාර්තාකරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා නිකුත්කළ චක්‍රලේඛය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී කතාබහක් මතුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමුකළ අතර ඊට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පිළිතුරු ලබාදුනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය – “ගුරුවරුන්ට පාසල්වලට වාර්තා කරන්න කියලා තියෙන්නේ යන උද්ඝෝෂණවලට බය නිසාද? “
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා – “බයක් නිසා නෙමෙයි. ක්ෂණිකව ඒ පියවර ගන්න පුළුවන්කමක් නෑ. දෙවන මාත්‍රාව ගුරුවරුන්ට දීමෙන් පසු අපි මේ පාසල් විවෘත කරන්න ඕනේ. ඒකට පෙර සූදානමක් ලෙස තමයි පාසල්වලට පැමිණෙන්න කියලා ආයාචනය කළේ.”