ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේ කිසිදු ප්‍රමාදයක් නැහැ – අගමැතිනිය

මෙම මාසයේ ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, වැටුප් නියමිත පරිදි සහ නියමිත වේලාවට ගෙවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

අගෝස්තු 19 වැනිදා විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් මෙම මාසයේ ගුරුවරුන්ට වැටුප් නොලැබෙන බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

“ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. ඔවුන්ට නියමිත පරිදි සහ නියමිත වේලාවට වැටුප් ලැබෙනවා,” යනුවෙන් ඇය සඳහන් කළාය.

මේ අතර, පාසල් විදුහල්පතිවරුන් පත්කිරීමේදී මූලික අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වෙනත් සාධක සලකා බලන්නේද යන්න පිළිබඳ මන්ත්‍රී රුවන් විජේවීර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ දැනට පවතින විදුහල්පති පත්කිරීමේ ක්‍රමවේදය සමාලෝචනය කිරීමට රජය කටයුතු කරන බවයි.

විදුහල්පතිවරුන් පත්කිරීම දීර්ඝ කාලයක් පුරා ක්‍රමවත් ආකාරයකින් සිදුකර නොමැති බවත්, ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර පවතින ක්‍රමවේදය සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් හඳුන්වාදීමට රජය අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය.

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මානව සම්පත් කළමනාකරණ අංශය යටතේ පවතින ක්‍රමවේදය සහ අදාළ චක්‍රලේඛද මේ වනවිට සමාලෝචනය කරමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

විදුහල්පතිවරුන් තෝරාගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව, කාර්යසාධනයට අදාළ අනෙකුත් නිර්ණායකද සැලකිල්ලට ගත යුතු බවට රජය එකඟ වන බවද ඇය පැවසුවාය.

පාසල් විදුහල්පතිවරුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිටත් පුහුණු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඇය සඳහන් කළාය.

2027 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනය හරහා වඩාත් ක්‍රමවත් ධාරිතා වර්ධන වැඩසටහනක් හඳුන්වාදීමටත්, අදාළ ආයතන තවදුරටත් ශක්තිමත් කිරීමටත් රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *