කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොළඹ සහ සෞදි අරාබියේ දම්මාම් නුවර අතර සියලු ගුවන් ගමන් 2026 ඔක්තෝබර් 18 වැනිදා දක්වා අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.
නිකුත් කළ නිවේදනයකින් ජාතික ගුවන් සේවය සඳහන් කළේ, මගීන්ගේ සහ ගුවන් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මෙම තීරණය ගත් බවයි.
කලාපයේ ආරක්ෂක තත්ත්වය වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සුදුසු බවට තක්සේරු කිරීමෙන් පසුව කොළඹ සහ දම්මාම් අතර ගුවන් ගමන් යළි ආරම්භ කරන බව ද ගුවන් සේවය සඳහන් කළේය.
ගුවන් ගමන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය මගීන්ට පහත දුරකථන අංක සහ සන්නිවේදන මාර්ග ඔස්සේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අමතන ලෙස දැනුම් දී තිබේ.
දේශීය ක්ෂණික ඇමතුම් අංකය: 1979
ජාත්‍යන්තර ක්ෂණික ඇමතුම් අංකය: +94 11 777 1979
WhatsApp: +94 74 444 1979 (කෙටි පණිවිඩ හරහා පමණි)
මගීන්ට තම සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට හෝ ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිසීමට ද හැකියාව ඇත.
ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ඇති වූ බාධාකාරී තත්ත්වය හමුවේ මගීන් දැක්වූ අවබෝධය සහ සහයෝගය වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ස්තුතිය පළ කර තිබේ.


