කොවිඩ් කමිටු රැස්වීමේදී ගත් තීරණය

වයස අවුරුදු 60ට වැඩි සහ බෝනොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩාවිඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

ගතවූ දින කිහිපය තුළ සිදුවී ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වන බව එහිදී හඳුනාගෙන ඇත.

ඒ අනුව එම පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබානොගත් සහ බෝනොවන රෝගවලින් පෙළෙන අය බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේ දී  60ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව දියයුතු බවය.

වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

බෝනොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගීන්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළයුතු බව කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරු ද පෙන්වා දී තිබේ.

ජනතා ඒකරාශීවීම් වළක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳීසිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් රෝගය පැතිරයෑම වැළක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බවද මෙම සාකච්ඡාවට එක්වී සිටි වෛද්‍යවරු පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *