LK reports news sinhala

කෙමෙන් අමතක වන පාස්කු ප්‍රහාරය සහ වැඩිවන මැතිවරණ උණුසුම

ජනපතිවරණයද ? පළාත් පාලන මැතිවරණය ද ? ජනපති සිය ධූර කාලය දිගු කරගනියිද? මෙවැනි ප්‍රශ්න අතෝරාශියකි. ශ්‍රී ලාංකිකයින් පසුගිය සමයේ ගෙවූයේ බිය සැක මුසු සමාජයකය. ත්‍රස්ත බිය ඊට හේතු විය. පසුගිය අප්‍රේල් 21වැනිදා මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරයත් සමග සමාජයම බියෙන් සැකෙක් ඇලලී ගොස් තිබිණි. නමුත් මේ සියල්ල යටපත් කරමින් මේ වනවිට මැතිවරණ උණුසුම කරළියට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කවුරුන් වේවිද? සජිත්ට අපේක්ෂකත්වය ලැබෙයිද? එජාපය දෙකඩ වෙයිද? ගෝඨාභයගේ ඇමරිකා පුරවැසිභාවය අවලංගුද? මෙවැනි ප්‍රශ්න කරළියට එද්දී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමග ගනුදෙනු පැවැති බව කී ඇමැති රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස්වී යළි ඇමැති ධූරයේ දිවුරුම් දී නැවතත් පෙර පරිදිම කැබිනට් අමාත්‍ය ධූරයේ සියලු කටයුතු කරගෙන යයි. ඔහුට විරුද්ධව විශ්වාසභංග ගෙනා අය සොයාගැනීමටත් නැත. උපවාස කරමින් අතුරලියේ රතන හිමියන් ගෙනගිය වැඩපිළිවෙළ ගැන මේ වනවිට කිසිදු කථාවක් නැත. ඉල්ලා අස්වූ සියලු මුස්ලිම් ඇමැතිවරු යළි සිය ධූරවල දිවුරුම් දුන්හ.

ශ්‍රී ලාංකිකයන්ට ඕනෑම දෙයක් මතකයේ ඇත්තේ ඉතා සුළු කාලයක් බව එකල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් පවා කියා තිබිණි. යළිත් එය සනාථ කරමින් මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තිය සම්බන්ධයෙන් වූ කතිකාවන් යටපත්වී තිබේ. නැවතත් මෙරට කෙ‍ාහේ හෝ තැනක බෝම්බයක් පිපිරෙනතුරු බලාසිටිනවාදැයි යන සැකය ඉස්මතු වන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ද ඇප ලබමින් යළි සමාජගතවන නිසාය. කිසිවකුට දඬුවම් නැත. කිසිවකු වැරදිකරුවන් යැයි හඳුනාගෙනද නැත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාව තනිකරම නාටකයක් බවට පත්ව ඇත. ඒක පාර්ශ්වීය කරුණු විමසීමකි. එයට ජනපති එනතුරු පිරිසක් ඇඟිලි ගනිති. බදියුදීන් නිදොස්කොට නිදහස්ය. මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ඇමැතිවරු මහ බැංකු අධිපති කාරක සභාවට ගෙන්වා ප්‍රශ්න කරති. ‍

මේ කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් හා ආබාධිත වූවන්ගේ පවුල්වල අයට නම් මෙතෙක් සැනසීමක් නැත. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් පුන පුනා ප්‍රකාශ කරනුයේ ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරදෙන ලෙසයි. සැකකරුවන් නිදැල්ලේ බවයි. එවැනි ප්‍රකාශ නෑසූ කන්ව රජය මැතිවරණය වෙනුවෙන් පෙළ ගැසී සිටී.

මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව කිසිවක් සිදුනොවුණු ගානය. එක්තරා පොලිසියක් පල්ලියෙන් අත්අඩංගුවට ගත් කඩු යළි ලබාදී තිබිණි. තවුහිද් ජමාත් නායකයින් ඇප ලබති. එළිපිටම ත්‍රස්තවාදී ප්‍රකාශ සිදුකරන සමස්ත ලංකා තවුහිද් ජමාත් සංවිධානය හා එහි නායකයින් යෙහෙන් වැජඹෙති.

ඒ සියල්ල අස්සේ තෙල් මිල ඉහළ යයි. බදු බර වැඩිවෙයි. ශ්‍රී ලාංකිකයන්ට තවත් වැටීමට අගාධයක් නැති තරම්ය. විදෙස් බලවේගයන් මාන බලමින් සිටින්නේ මෙරටට අතපෙවීමටය. මේ සියල්ලට එරෙහිව නැගී සිටීමට ශක්තිමත් නායකත්වයක් නැත. අපක්ෂපාතී බොහෝ පිරිසක් කොන්ද පණ ඇති නායකයකු ඉල්ලා සිටී. එබැවින් එළඹෙන ජනපතිවරණය ඉතා තීරණාත්මකය. එතුළින් අසාධාරණයට ලක්වූවන්ගේ පීඩනය පිටවනු ඇත. රටට අවශ්‍ය නායකත්වය ජනතාව තීරණය කරනු ඇත. මුස්ලිම් අන්තවාදීන් පෝෂණය කරමින් ආගම්වලට නිගරු කරමින් ජනයා තලා පෙළා දැමූවන්ට මෙන්ම ඡන්ද වෙනුවෙන් කට වසාගෙන සිටියවුන්ට ජනතාව නිසි පාඩම් උගන්වනු ඇත. ඒ වනතුරු සමස්ත ජනයා මෙන්ම සොබා දහමද බලා සිටින බව ඒකාන්තය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *