කෘතිම බුද්ධිය (AI) හරහා පුළුල් අවස්ථාවන් මෙන්ම අතිශය තීරණාත්මක වගකීම්ද නිර්මාණය වන බැවින්, නැගී එන නවීන තාක්ෂණයන් ආශ්රිත අවදානම් කළමනාකරණය කරමින් ඒවා වගකීම් සහගත ලෙස භාවිත කිරීම සහතික කළ යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අවධාරණය කළාය.
අග්රාමාත්යවරිය පෙන්වා දෙන්නේ, මෙරට අධ්යාපන ක්ෂේත්රය නඟාසිටුවීමට, පර්යේෂණ ශක්තිමත් කිරීමට, මහජන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම නව ආර්ථික අවස්ථා උදාකර දීමට කෘතිම බුද්ධියට (AI) සුවිශේෂී හැකියාවක් පවතින බවයි.
කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨ ශ්රවණාගාරයේදී පැවති ‘කොළඹ විශ්වවිද්යාල ජාත්යන්තර සමුළුව 2026’ (University of Colombo International Conference 2026) හි ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඊයේ (28) පෙරවරුවේ අග්රාමාත්යවරිය මෙම අදහස් පළ කළාය. ඔක්තෝබර් 28 සහ 29 යන දෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ “කෘතිම බුද්ධිය, තිරසාරත්වය සහ නවෝත්පාදනය තුළින් සියල්ල ඇතුළත් අනාගතයක් කරා” (Advancing an Inclusive Future through AI, Sustainability and Innovation) යන තේමාව යටතේය.
AI අවදානම් සහ ඩිජිටල් සාක්ෂරතාව
කෘතිම බුද්ධිය සමඟ එන ප්රතිලාභ භුක්ති විඳින අතරම, සාවද්ය තොරතුරු පැතිරීම, පක්ෂග්රාහී දත්ත (Bias), පුද්ගලික දත්තවල රහස්යතාව පිළිබඳ ගැටලු සහ තාක්ෂණයට ප්රවේශ වීමේදී පවතින අසමානතාව වැනි අභියෝගයන් කෙරෙහිද නිසි අවධානය යොමුකළ යුතු බව අග්රාමාත්යවරිය මෙහිදී අනතුරු ඇඟවූවාය.
එබැවින් සමාජය තුළ ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය, කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයකදී මානව විනිශ්චය, වගවීම සහ මහජන සුබසාධනය ප්රමුඛත්වයේ තැබිය යුතු බව අවධාරණය කළාය.
විශ්වවිද්යාලවල ජාතික කාර්යභාරය
දැනුම උත්පාදනය, විවේචනාත්මක චින්තනය සහ ජාතික ගැටලුවලට ප්රායෝගික විසඳුම් සෙවීම හරහා ශ්රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම උදෙසා විශ්වවිද්යාල සහ පර්යේෂණ ආයතන සතු සුවිශේෂී කාර්යභාරය මෙහිදී අග්රාමාත්යවරියගේ ඇගයීමට ලක්විය.
ගුණාත්මක අධ්යාපනයක් සඳහා සාධාරණ ප්රවේශයක් තහවුරු කිරීම මූලික ජාතික වගකීමක් බවත්, රටේ සංවර්ධනයේ ප්රතිලාභ සියලු ප්රජාවන් අතර සාධාරණව බෙදී යා යුතු බවත් ඇය අවධාරණය කළාය. එමෙන්ම බිහිවන නවෝත්පාදනයන් මහජන යහපතට සේවය කළ යුතු අතර, පර්යේෂණ ජාතික ප්රමුඛතාවන්ට දායක විය යුතු බවත්, නව තාක්ෂණික අවස්ථාවන් සමාජයේ සෑම තරාතිරමකම ජනතාවට විවෘත විය යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම සමුළුව සඳහා කොළඹ විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක, අධ්යාපන අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, විදේශ තානාපතිවරුන් ඇතුළු රාජ්යතාන්ත්රික නිලධාරීන්, ආචාර්ය මහාචාර්යවරුන්, පර්යේෂකයන් මෙන්ම විශ්වවිද්යාල ප්රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


