සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, කිසිදු පාර්ශ්වයක බියගැන්වීම්වලට යටත්ව තීරණ නොගන්නා බවත්, දම්වැලක පුරුක් ලෙස සෑම පුරුකක්ම වැදගත් වුවද, එම වැදගත්කම පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව ක්‍රියා කළ යුතු බවත්ය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය කළමනාකරණ සහකාරවරුන් පිරිසකට පත් වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනයේ ස්වරූපය වන්නේ, රෝහල්වල නොමැති ඖෂධ බාහිරින් මිලදී ගැනීමට නියම නොකිරීම, රෝහල්වල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිර රසායනාගාරවලින් සිදුකර ගැනීමට යොමු නොකිරීම, වෛද්‍යවරුන්ගේ අනුමැතියකින් තොරව රෝහල් පද්ධතියේ නව ඒකක ආරම්භ නොකිරීම, සෞඛ්‍ය කඳවුරු හා සායනවලට සහභාගී නොවීම මෙන්ම, රෝගීන් පරීක්ෂා කිරීමට සහායක නිලධාරීන් නොමැති අවස්ථාවල සේවාවන්ගෙන් ඉවත්වීම යනාදියයි.
මෙය සෙල්ලමක් නොවන බවත්, රට පිළිබඳව වූ වගකීම අප සියලු දෙනාම භාරගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. සියලුම රාජ්‍ය සේවකයින් මහජන සේවකයන් ලෙස, එම වගකීම නිසි අයුරින් ඉටු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත්, ලෝකයට තමා අත්‍යවශ්‍ය යැයි සිතා සිටීම නොකළ යුතු බවද ඔහු පැවසීය. යම් අයෙකු නොමැති වුවද, එම ස්ථානයට තවත් අයෙකු පත්වී ලෝකය ඉදිරියට ගමන් කරන බවද, යම් ක්‍රියාවලියක් සිදුවන විට දම්වැලක පුරුකක් වැදගත් වුවද, ඊට විකල්ප ක්‍රමවේදයක් සොයා ගැනීමට ලෝකයාට හැකියාව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
එබැවින්, අප වැදගත් වුවද, එම වැදගත්කම පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. රජය මගින් ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දෙන බවත්, යුරෝපයේ වැඩි වැටුප් හෝ වැඩි පහසුකම් හේතුවෙන් සේවාවන්ගෙන් ඉවත්ව යන බව පවසමින් හෝ, බියගැන්වීම් මගින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටීමට රජය යටත් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


