කහ ගෑස් සිලින්ඩර නිල් පාට ගා ලිට්රෝ ලෙස විකුණූ පිය-පුතු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

හිස් කහ පැහැති ගෑස් සිලින්ඩර නිල් පැහැයෙන් තීන්ත ආලේප කර ඒවා ‘ලිට්රෝ’ (Litro) ගෑස් සිලින්ඩර ලෙස පෙන්වීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියෙකු සහ පුතෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දෙසැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොටදෙනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙසැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
අලුතින් තීන්ත ආලේප කළ සිලින්ඩර පැරණි හා මීට පෙර භාවිත කළ ඒවා ලෙස පෙන්වීම සඳහා සැකකරුවන් විසින් සූක්ෂ්ම උපක්‍රමයක් භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කළ සිලින්ඩර බවට හැඟවෙන පරිදි ආප්ප පිටි මිශ්‍රණයේ ඉතිරි කොටස් සහ මිරිස් හොදි ඇතුළු ආහාර අපද්‍රව්‍ය හා ආහාර කැබලි එම සිලින්ඩරවල තවරා තිබී ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




