රාජ්‍ය දන්ත සේවයට සියවසක්: ප්‍රතිකාරයට වඩා රෝග නිවාරණයට ප්‍රමුඛතාව දිය යුතු බව අගමැතිනිය කියයි

රාජ්‍ය දන්ත සේවය ප්‍රතිකාර කිරීම කෙරෙහි පමණක් නොව රෝග නිවාරණය, කල්තියා හඳුනා ගැනීම සහ සේවාවන් වෙත සමාන ප්‍රවේශය ලබාදීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව පවසමින්, නිවාරණ දන්ත සෞඛ්‍ය රැකවරණයක් වෙත යොමු වීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය දන්ත සේවයේ සියවස් සැමරුම නිමිත්තෙන් නොවැම්බර් 22 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) පැවති උත්සවයේදී ඇය මෙම අදහස් පළ කළාය.
රාජ්‍ය දන්ත සේවයේ 100 වසරක ගමන්මග
1926 වසරේදී කොළඹ මහ රෝහලෙන් කුඩා පරිමාණයෙන් ආරම්භ වූ මෙම සේවාව, මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 106 දෙනෙකු ඇතුළුව දන්ත වෛද්‍යවරුන් 1,350 ක් පමණ සේවය කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන 600 කින් සමන්විත දීපව්‍යාප්ත ජාලයක් දක්වා ව්‍යාප්ත වී ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
1943 වසරේදී දන්ත වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම සහ 1947 වසරේදී දේශීයව පුහුණුව ලැබූ පළමු දන්ත වෛද්‍ය කණ්ඩායම උපාධිය ලැබීම දන්ත සේවා සංවර්ධනයේ ප්‍රධාන සන්ධිස්ථාන ලෙස ඇය හැඳින්වූවාය. මෙරට දන්ත වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල දන්ත වෛද්‍ය පීඨ විසින් සිදු කරන ලද දායකත්වය ද ඇය අගය කළාය.
ගතවූ වසර 100 තුළ මෙම සේවාව ගොඩනැගීමට දන්ත වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, පාසල් දන්ත චිකිත්සකවරුන්, රසායනාගාර ශිල්පීන්, දන්ත සහායකයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රණාමය පුද කළාය.
මුඛ සෞඛ්‍යය සහ රෝග නිවාරණයේ වැදගත්කම
මුඛ සෞඛ්‍යය යනු දත් කැක්කුමට ප්‍රතිකාර කිරීම හා දත් ගැලවීමෙන් ඔබ්බට ගිය දෙයක් බවත්, එය පෝෂණය, කථනය, ආත්ම විශ්වාසය සහ සමස්ත ජීවන තත්ත්වය කෙරෙහි සෘජුවම බලපාන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
පාසල් දන්ත සේවා සහ නිවාරණ වැඩසටහන්වල බලපෑම පෙන්නුම් කරමින්, වයස අවුරුදු 12 දරුවන් අතර දන්ත ක්ෂය වීමේ ව්‍යාප්තිය පෙර ජාතික සමීක්ෂණවලදී පැවති 67% ක පමණ අගයේ සිට 2015-2016 සමීක්ෂණයේදී 30.4% දක්වා පහත වැටී ඇති බව ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, මුඛ පිළිකා සහ දුම්කොළ, බුලත්, පුවක් සහ අහිතකර මත්පැන් පරිභෝජනය හා සම්බන්ධ අවදානම් පිළිබඳව මහජනතාව තවදුරටත් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පවතින බව ඇය සඳහන් කළාය.
“බොහෝ දෙනෙකුට දන්ත වෛද්‍ය උපදෙස් මතක් වන්නේ දත් කැක්කුමක් හැදුණාට පසුවයි. අපි මෙම ආකල්පය වෙනස් කළ යුතුයි. සෞඛ්‍ය සේවාව ආරම්භ විය යුත්තේ රෝගයක් ඇතිවීමෙන් පසුව නොව, රෝගයක් ඇතිවීමට පෙරයි,” යැයි ඇය පැවසුවාය.
සමාන ප්‍රවේශය සහ ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව
මූලික දන්ත සේවා ප්‍රජාවන් වෙත වඩාත් සමීප කිරීමේ සහ ගුණාත්මක ප්‍රතිකාර සඳහා ඇති ප්‍රවේශය ආදායම, භූගෝලීය පිහිටීම හෝ සමාජ තත්ත්වය මත තීරණය නොවන බව තහවුරු කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ආර්ථික වශයෙන් අවාසිදායක ප්‍රජාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ වැඩිහිටියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඇය පැවසුවාය. එමෙන්ම, ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව (Digital dentistry) වැනි නවීන දියුණුවීම් සමාජයේ සෑම ස්ථරයකටම සමානව ලබාගත හැකි විය යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.
අග්‍රාමාත්‍යවරියගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය දන්ත සේවයේ සියවස සනිටුහන් කරමින් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද මෙම උත්සවයේදී නිකුත් කෙරිණි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය චන්දන ගජනායක මහතා ඇතුළු වෛද්‍ය හා දන්ත වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




