Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බොරැල්ල කනත්ත වටරවුමේ පහරදීමේ සිද්ධියට සැකකරු අත්අඩංගුවට: රේන්ජ් රෝවර් රථයත් පොලිස් භාරයට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

නොවැම්බර් 20 වැනිදා බොරැල්ල කනත්ත වටරවුම අසල, රේමන්ඩ් මල්ශාලාව ආසන්නයේදී සිදුවූ බව කියන බහින්බස් වීමක් සහ පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

පදිකයින් මාරු වීමේ සංඥා එළිය රතු පැහැයෙන් දැල්වෙමින් තිබියදීත් පදිකයින් දෙදෙනෙකු පදික මාරුව හරහා මාර්ගය මාරු වෙමින් සිටියදී මෙම සිදුවීම වී ඇති බව වාර්තා වේ.

රාජගිරිය දෙස සිට කනත්ත වටරවුම දෙසට ධාවනය වූ රේන්ජ් රෝවර් (Range Rover) වර්ගයේ ජීප් රථයක් පදික මාරුව අසල නතර කර ඇති අතර, රියදුරු විසින් රථයේ නළාව නාද කිරීමත් සමඟ බහින්බස් වීමක් ඇතිවී එය පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බව වාර්තා සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාලබේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් බොරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. මේ අතර, මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරු විසින් කෘත්‍රිම බුද්ධියෙන් (AI) නිර්මාණය කරන ලද රූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව පොලීසිය පැවසීය.

පැමිණිලිකරුගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, 37 හැවිරිදි සැකකරු නොවැම්බර් 21 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බව අනාවරණය වූ බව පොලිස් නිවේදනයේ දැක්වේ.

සැකකරු පැදවූ බව කියන ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු නොවැම්බර් 22 වැනිදා අලුත්කඩේ අංක 02 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ අදහස